Tuesday, November 10, 2015

පිරිත


"ලොක්කා, බ්‍රහස්පතින්දට තුෂාරලගෙ ගෙදර පිරිතක්. ඔන්න නොකිවුවයි කියන්න එපා. එදාට මාත් එක්ක පැයකටවත් පිරිත් අහන්න යන්න එන්න ඕනෙ" යන රාජ නියෝගය ගෙදරට ගොඩවනවිටම අම්මාගෙ මුවෙන් ඇසුනි. දැන් ඉතින් මොනා කරන්නද. යන්නම වෙනවා. නැත්නම් ආයිත් ගෙදර නිදහසේ වසලා හමාර වන බැවින් පිරිත් ගෙදර යාමට මා සිත හදා ගත්තෙමි.

කෙමෙන් කෙමෙන් දින ගතවී පිරිත් දින උදාවිය. එදින රාත්‍රී 8ට පමණ පිරිත් ඇසීමට අම්මාත් කැටුව මා පිටත් විය. පිරිත ගිහි පිරිතක් වූ අතර සාලයේ වැඩි පිරිසක් නොසිටි තැනක් බලා මා බිත්තියට හේත්තුවක් දමාගෙන වාඩිවිය. විනාඩි විස්සක් පමණ ගත්වූ නමුත් පිරිත් කීමට සූදානම්වනවා විනා පිරිත් කීම පටන් ගන්නා පාටක් පෙනෙන්නට නැත. අම්මා ඈත කොනක වාඩිවී ගමේ අනිත් අම්මාණ්ඩිලාත් සමග ලොකු කඩයක් දමා ඇති බවක් මම දුටිමි. අවසානයේ ෆෝන් එක ගෙන ගේම් එකක් ගසන්නට පටන් ගත්තේ කරන්නට කිසිවක් නොමැති කලය.

 තවත් ටික වේලාවකින් "පංච ශීලයේ පිහිටුවීම සදහා රැස්ව සිටින පිංවතුන් සාදුකාරයක් දී නමස්කාරය කියන්න" යන්න යකඩ කටින් ඇසුනි.මාද හිස පහතට නමා පන්සිල් ගැනීමට නමස්කාරය කියන්නට පටන් ගතිමි.එවිටම වාගේ ඩෙනිමක් හා සුදු පාට ටී ශර්ට් එකක් ඇදගත් පට්ට කෑල්ලක් මාගේ අසලට පැමිණ මට එහා පැත්තෙන් වාඩිවනවා මාගේ ඇස් කොනින් දැක්කෙමි. දැන් පන්සිල් ගැනීම කෙසේවෙතත් මගෙ එහාපැත්තෙ ඉන්න කෑල්ල කවුද යන්න මා හට ඇති ලොකුම ගැටලුවයි. ඇස් කොනෙන් බලනවා විනා මුණ හරවා බලා චාටර් වීමට මා හට හිතක් නොමැත. මගෙ මොලේ ගම පුරාම ඇති කෙල්ලන්ව ස්කෑන් කළ නමුත් මේ කවුදැයි තවමත් මාගේ රේඩාර් එකට අල්ලා ගැනීමට නොහැකිය.

 මෙලෙස විනාඩි 10ක් පමණ ගතවනවිට කෙල්ල ඉන්නා විදිය වෙනස් කර කකුල් දෙක නමාගත්තේ මගේ ඇගේ ගෑවීගෙනය.දැන් කෙල්ලගේ කකුලක් ඇත්තේ මගේ කලව උඩ ලාවට ගෑවීගෙනය. කෙල්ල ඈත් වෙන පාටක්ද නැත. "යකෝ මේකි මාව ටෝක් කරනවාවත්ද". තවත් විනාඩි 10ක් 15ක් ඇතුලත කෙල්ලගේ මුළු කකුලේම බර මගේ කලව උඩය. නිකන් ඉදලා හරි යන්නෙ නෑ. අදනම් එළිවෙනකම් පිරිත් අහනවා. කෝම හරි මේකිව ටෝක් කරගන්නවා.අම්මට කාලා ගෙදර යන්න කියනවා. මම පරක්කුවෙලා මේ වැඩේ කෝම හරි කරන් යනවා, යනාදී සිතුවිලි රැසක් හිතට පහලවූයේ ඒ අතරතුරය.

 වෙලාව 9.30 පමණවන විට අම්මා සිටි තැනින් නැගිට දොර ලගට පැමිණ මට අතින් කතා කලේ කෑම කා ගෙදරට යන අදහසිනි. මම අම්මාට අතින් යන්න යැයි සන් කල නමුත් අම්මා නැවත වතාවක් මා හට කතාකරයි. අම්මාට තේරෙනවද මට තියෙන ප්‍රශ්න. මේවා කියන්නත් බෑනෙ. අම්මා යන්නෙත් නෑ. දැන් මම මොකද කරන්නෙ, යනුවෙන් මා සිතමින් සිටිනා විටදී "මනෝජ් අයියෙ අපි කන්න යන්" යනුවෙන් එහා පැත්තේ සිටි කෙල්ලගෙ මුවින් හුරුපුරුදු කටහඩකින් ඇසුනි. එවිටම මා මෙතෙක් වේලා හොරැහින් බැලූ ඒ මුහුණ දෙස මා හට ඉබේම බැලුනි. එහා පැත්තේ ඉන්නේ මගෙ නංගි හෙවත් මාමගෙ දුවය.
 ඇයි මටම මෙහෙම වෙන්නෙ යනුවෙන් මා එවිට මගෙන්ම අසාගතිමි.

 මනෝජ් ගුණවර්ධන
10-11-2015

No comments:

Post a Comment