Thursday, November 5, 2015

බෙන්ස් කාර්


අද උදෑසන වැඩට යාමට රේස් අස්සයා පිට නැගි මා සෙමින් සෙමින් කැළණි පන්සල දෙසට ලගාවිය. පුරුදු පරිදි අංගොඩ දෙසට යන වාහන පෝලිම කිලෝමීටර් බාගයක් පමණ දුරට අදත් පෝලිම් ගැසි තිබුණි. බයික් එකේ යන අපිට ට්‍රැෆික් ප්‍රශ්නයක් නැත. වෙනදා වගේම වාහන පෝලිමෙන් දකුණට බයික් එක ගත් මම 40ට 50ට පමණ වාහන ඉස්සර කරමින් ඉදිරියට ගියෙමි.
ඉදිරියෙන් කලුපාට බෙන්ස් රථයක් මා දෙසට එනවා මා දුටු නමුත් මගේ වේගය අඩු නොකලේ බෙන්ස් රථයට පාරේ අයින් කිරීමට ඇති තරම් ඉඩ තිබූ නිසාය. එන්න එන්නම එය ලන් වන නමුත් එය පොඩ්ඩක්වත් පාර අයිනට කැපූ බවක් මට නොපෙනුනි.
'බෙන්ස් එකකට නැග්ගම උන්ගෙ හිතේ ඇති අනිත් වාහන අයින් කරන්න ඕනෙ කියලා. මගෙ බල්ලවත් අයින් කරන්නෙ නෑ. ඇයි යකෝ බස්කාරයොත් මම යද්දි ඉඩ දෙන එකේ මූට පොඩ්ඩක් අයිනට කපාගන්න බැරි හැටි' කියා සිතමින් මමද තවත් ඉදිරියට ඇදුනි.
තවත් ඇත්තේ මීටර් 40ක් හෝ 50ක් පමණි. ඒවන විට බෙන්ස් රථයේ වීදුරුව තුලින් එය පදවන්නාගේ මුහුණද මට පෙනෙනා තරමට එය ලංවී තිබුණි. රථය පදවන්නා දුටු විට මගේ ඇගම කීරිගැහී වෙවුලා යන්නට විය. 'අදනම් මගෙ අවසානෙ තමයි එහෙම නැත්නම් අතක් පයක් කුඩු' යනුවෙන් ක්ෂණිකව සිතුනි. 'පොලීසියෙනුත් ඇති ඉස්සරහ, උන් මම වැරදි පැත්තෙන් ආව නිසා මට වැරැද්ද පටවයි. බයික් එකේ ඉන්සුවරන්ස් එක තර්ඩ් පාටි. බෙන්ස් එකට මොනා හරි උනොත් මම ඉවරයි' යනාදී දහසකුත් එකක් සිතුවිලි තත්පරයක් තුල ජනිත වීය.
ඉස්සරහ බ්‍රේක් එකද, පසුපස බ්‍රේක් එකද, ක්ලච් එකද යන තුනම එකවර ඇල්ලුවා නොව ඇල්ලුනාය. උදෑසන මද වැස්සට පාර තතබරිත වී තිබූ අතර රත් උණු තාච්චියක් උඩ බටර් කෑල්ලක් ලිස්සා යනවාක් මෙන් පසුපස රෝදය ලිස්සා රුවිතයට දකුණට ගොස් බයික් එක ඇලවන්නට පටන් ගත්තේය. මා දන්නා සියලු ශිල්ප සතර පෙන්වූ නමුත් බයික් එක පෙරලී ඉදිරියට ඇදී යාම වැලැක්විය නොහැකි විය. බෙන්ස් රථය පාර මැද නතර වූ නමුත් මා ඒ වන විටත් එම රථය සිපවැළදගෙන හමාරය.
ඉස්සරකරගෙන ආ ත්‍රීවිල් රථයක අයියා කෙනෙකු වහාම පැමිණ මට නැගිටීමට උදව් කරනා තෙක්ම මට නැගිටීමට ශක්තියක් තිබුනේ නැත.
කකුලේ දණහිස ලෙලි ගොසිනි. කලිසමටද දෙවියගේම පිහිටය. කකුලට වඩා වැලමිටට බරපතලය. සුදු හම පෙනෙනා තරමටම වැළමිට ලග තුවලවී ගොසිනි. හෙල්මට් එක වහාම ගලවා බිමින් තැබූ මා ඔලුවේ ගැටගසාගෙන තිබූ ලේන්සුව ගෙන වැලමිට වෙලාගතිමි. ඒ වනවිටත් වටේ පිටේ රැස්වූ අය බයික් එක පාර අයිනට ගෙන හමාරය. අසල තිබූ කඩයක් වෙතට මා රැගෙන ගිය දෙදෙනෙකු එහි පුටුවක මා වාඩිකරන ලදී.
ඒ සියල්ල අතරේ "ඔහොමද වාහන එලවන්නෙ, පාරෙ මෙච්චර ඉඩ තියෙනවා පොඩ්ඩක් අයින් කරගන්න බැරි උනාද, ඔයින් ගියා ඇති, ඔයාට ලයිසන් තියෙනවද' ආදී ප්‍රශ්න වැලක් බෙන්ස්රථයේ රියදුරුට එල්ලවෙනවා ඇසූ මගේ සියලු වේදනා කැක්කුම් ධූරිංභූත විය.
තවත් තත්පර් කිහිපයකින් බෙන්ස් රථයේ රියදුරු මා වෙත පැමිණි අතර "මල්ලි අපි හොස්පිටල් එකට යන්ද බෙහෙත් ටිකක් දාගන්න" යනුවෙන් ඈ විමසීය. තවමත් ඈ පැලද සිටි සන්ග්ලාස් එක ගලවා නොතිබූ අතර ඇගේ මුහුණින් කිසිදු බියක් නොපෙනුනි."අවුලක් නෑ අක්කෙ මම මෙතන ටිකක් වෙලා ඉදලා බෙහෙත් ටිකක් ගන්න යන්නම්. දැන්ම යන්න අමාරුයි..................
අක්කගෙ වාහනේට ගොඩක් ඩැමේජ්ද?"
"අනේ මන්දා මම ඒක බැලුවෙ නෑ. ඒක අවුලක් නෑ. මේක ෆුල් ඉන්සුවරන්ස්. මල්ලි පාරෙ වාහන බ්ලොක් වෙලා. මම වාහනේ ඉස්සහරහින් පාක් කරලා එන්නම්" කියූ ඈ බෙන්ස් රථය වෙතට පියමැන්නාය.
"ගෑණු වාහන එලෙවුවොත් ඔහොම්මමයි මල්ලි. උන්ව ශුවර් කරන්න බෑ. මීට පස්සෙනම් කෙල්ලො එලෝන වාහන ඉස්සරහට දාන්න කලින් දෙපාරක් හිතපන්" කියා කඩේ අයියා දුන් උපදෙස මා සිතේ පහල වූ සිතුවිලි වචන කිරීමක් විය.

No comments:

Post a Comment