Thursday, November 5, 2015

මංගල්‍යය


පසුගිය මස 27වැනිදා මාහට සිදුවූ ඇබැද්දිය පට්ට චාටර් සිද්ධියක් නමුත් එය පහතින් වචන කරන්නට මා සිතුවේ, ඔබටද යම් දිනක එවැනි සිදුවීමකට මුහුණදීමට සිදුවිය හැකි බැවිනි.
එදින සෙනසුරාදා දිනයකි. හාෆ් ඩේ එකද නිවාඩු දමා හවස තිබූ ඉංග්‍රීසි පන්තියද කට් කර කුරුණෑගල වෙත මා ඇදුනේ කලින් ලද ආරාධනාවක් අනුවය. ඒ මා මිත්‍රයෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගීවීමටය. දවල් 1ට පමණ ආරම්භවූ සාදය සවස 6 වන විටත් අවසන් නොවූ බැවින් මිතුරාට සුභපතා ඔහුට සමුදුන් මා පාරට බටෙමි.
සාදය පැවති හෝටලයේ සිට කුරුණෑගල නගරයට 2km පමණ දුරක් තිබූ හෙයින් පාරට ආ මම ත්‍රීරෝදරථයක් සොයන්නට පටන් ගතිමි. සැන්දෑ කලුවර උදාවී තිබූ බැවින් පාරේ ගමන් කල ත්‍රීරෝදරථ සියල්ලක්ම පාහේ මගීන් ගමන් කළ ඒවා විය. හයවෙනි ත්‍රීරෝදරථයට මම අතදමනා විට එය මාගේ ජීවිතය උඩුයටිකුරු කරාවි යැයි මා කිසිවිටකත් සිතුවේ නැත.
"මල්ලි කොහෙට යන්නද?"
"කුරුණෑගල ටවුන් එකට අයියෙ."
"හරි මල්ලි නගින්න." යනුවෙන් ත්‍රීරෝදරථ රියදුරු කී පමාවෙන් මා එයට ගොඩවුයේ එහි පසුපස තවත් පුද්ගලයෙකු සිටිනා බව දැකදැකය.
පසුපස සිටි පුද්ගලයාට වයස අවුරුදු 30ක 40ක පමණ පෙනුමක් තිබූ අතර ඔහු මා හා දොඩමලුවූයේ කලක පටන් හදුනන මිතුරෙකු දුටුවාක් මෙනි.
"මල්ලි මෙහෙ නෙමෙයිද?"
"මම කොළඹ අයියෙ."
"මල්ලි දැන් කොළඹද යන්නෙ?"
"ඔව් කුරුණෑගල ටවුන් එකෙන් බස් එකක් ගන්නවා."
"අපිත් කොළඹ මල්ලි යන්නෙ. කැමතිනම් අපිත් එක්ක යන්න පුලුවන්. සල්ලි ඕනෙ නෑ. අනික මේ වෙලාවෙ බස්වල සෙනග. මම හිතන්නෙ නෑ සීට් එකක් හමබවෙයි කියලා."
"හ්ම්ම්ම්ම්ම්. බස් එකක් තිබ්බොත් මම ඒකෙ යන්නම්. නැත්නම් බලමුකො අයියෙ."
"හරි හරි මල්ලි." කියූ ඔහු තවත් මොනවාදෝ කන්කරච්චලයක් සේ කියවන්නට පටන් ගත්තේ 'බස් එකේ යන එක හොදයි වගේ' යන සිතුවිල්ල මා සිතේ ජනිත කරමින්ය. නමුත් මාගේ සෙනසුරු නීචවී, රාහු මහදසාව ලබා ඇතිබවක් පෙන්වමින් බස් ස්ටෑන්ඩ් එකේ තිබූ එකම කොළඹ බසයද අනුරාධපුරයේ සිට පැමිණි එකක් වූ අතර එහි 20ක් 30ක් හිටගෙනද ඉන්නා ආකාරයක් පෙනුණි.
"ඔන්න ඔහේ මේකෙම යන් මල්ලි." කියූ ත්‍රීරෝදරථයේ රියදුරු මාගේ පිළිතුරක් ලැබෙන්නටත් පෙරතුව රථය පාරට දමා ධාවනය කරන්නට විය. ඉන්පසුව ගෙවුනු පැයබාගය නිහඩව ගෙවීගියේ රාත්‍රී 7ත් පසුකරමිනි.
"ඩ්‍රයිවර් මල්ලි ඉස්සරහින් පොඩ්ඩක් නවත්තනවද මොනා හරි බොන්න ගන්න." යන වදනත් සමගින් රථය බාර් එකක් අසල අදුරු පෙදෙසක නවත්වන ලදී.
"මල්ලි ඔයා බියර් බොනවද?"
"අනේ එපා අයියෙ. මම මුකුත් බොන්නෙ නෑ" කියූ මා ඔහුට බිමට බැසීමට ඉඩලබාදෙන ලදී. විනාඩි 2කට පමණ පසු බියර් ටින් එකක් හා ස්ප්‍රයිට් බොතලයක් රැගෙන ආ ඔහු ස්ප්‍රයිට් බෝතලය මාවෙත දිගුකලේය. මා එයින් රස බැලුවේ උගුරු දෙකක් හෝ තුනක් පමණි. මට මතක එපමණය.
සිහිය එනවිට මා සිටියේ බිම වැතිරගෙනය. වටේම රූස්ස ගස් පෙනුනු නමුත් ඉදහිට වාහන ගමන් කරන හඩ සිහිනෙන් මෙන් ඇසුනි. සාක්කුවට අතදමා ෆොන් එක සෙවූ මෙමට ඒ වෙනුවට කලිසම් සාක්කුවේ තිබී අයිඩින්ටිය හා ලයිසන් එක හමුවිය. පොතේ හැටියට ඒවා තිබිය යුත්තේ මාගේ පර්ස් එක තුලය.
නැගිටීමට දැරු සියලු උත්සහයන් අසාර්ථක වූ තැන වටේටම ඔලුව හරවා වාහන එළිය පෙනෙනා දෙස සොයාගෙන ඒ දෙසට සෙමින් සෙමින් බඩගාන්නට විය.
පසුව සොයාගත්පරිදි ඒ වනවිට වේලාව, පාන්දර 5ට ආසන්න වේලාවක් විය යුතුය. සිහිමදගතියෙන් හා වැදගත් ලෙස හැද පැළද සිටි මා දුටු අයෙකු මා හා කතාබහකර, පොලීසියට ඒ පිළිබදව දැන්වීමෙන් අනතුරුව පොලීසියෙන් පැමිණ මා රෝහලට රැගෙන ගිය අයුරුද සිහිනයකින් මෙන් මාහට මතකය. ඒ අතරතුර යම් අයෙකුට මාගේ නිවසේ දුරකථන අංකය ලබාදුන් බවද මතකයේ ඇත. පසුව නැවතත් සිහිය එනවිට මා රෝහලේ ඇදක් මත විය.
ලත්තන සුදු මිසී කෙනෙකු පැමිණ මාගේ විස්තර සටහන් කරගන්නා විට අම්මා, තාත්තා, මල්ලී, පුංචී, ලොකුඅම්මා, මහප්පා ආදී පවුලේ 6ක් 7ක්ම කොහෙදෝ සිට එතනට කඩාපාත්විය.
පසුව දිනදෙකක් රෝහලේ ගතකල මා අගහරුවාදා උදෑසන නිවසට පැමිණියේ දරාගත නොහැකි කේන්තියකින් හිත පුරවාගෙනය.
වෙඩින් එකට යන්නට පෙර අම්මාගෙන් ඉල්ලාගත් රත්තරන් මාලයද, මාමාගෙන් ඉල්ලාගත් පවුම් දෙකක් පමණ වටිනා බේස්ලට් එකද අතුරුදහන්ව ගොසිනි. අතේ තිබූ ටච් ෆෝන් එක මෙන්ම රුපියල් 3000ක් පමණ තිබූ පර්ස් එකද නොමැත.
රොහලේ සිටියදී පොලීසියෙන් පැමිණ කටඋත්තරයක් ලබාගත් නමුත් නැතිවූ කිසිවක් නැවත ලැබේවියැයි විශ්වාස කළ නොහැක.
ඊයේ මවෙත මිතුරෙකු ලබාදුන් දුරකථනයක් මගින් නැවතත් බුකීගතවීටම අවස්ථාව ලදෙමි. කෙලවීමෙත් උපරිමයෙන් මට කෙලවී ඇත.
සල්ලිනම් කවදා හෝ හම්බකල හැක. නමුත් උහුලන්නට නොහැක්කේ ඒ සිද්ධිය නිසා ඇසෙනා ගමේ කොල්ලන්ගේ කයිකතන්දරය. ඒවා අසනවිට පොළවපලන් යන්නට සිත්ය.

No comments:

Post a Comment