Friday, July 1, 2016

ශර්ලෝක් හෝම්ස්

ඊයෙ රෑ ජාමෙ ලොකු එළියකුත් එක්ක කාමරේට ශක්‍ර දෙවියො පහල උනා. ශක්‍ර දෙවියා පෝය දවසෙ එක හොද මනුස්සයෙක්ට වරයක් දෙනවලු අතීතයට යන්න. අතීතයට ගිහින් ඕන දෙයක් කරන්න, ඕන දෙයක් වෙනස් කරන්න, ඕන දෙයක් ගෙනියන්න ගේන්න පුලුවන්ලු. 
පිනා චාන්ස් එකනෙ. මමත් එකෙන්ම හා කිවුවා. ගෙදරට වෙලා ඉදලා එපා වෙලා ඉන්න එකේ ඔහොම ජවුසමක් හරි නටන එක වෙනසකටත් හොදයිනෙ.
ඔන්න මම යන්න ලෑස්ති වෙලා ශක්‍රයාගෙන් උදව්වක් ඉල්ලුවා.
"කිව මනෝජ් පුතණුව. නුඹට අවශ්‍ය කිම?"
"අනේ දෙයියො. මට චන්දන මෙන්ඩිස්ගෙ ශර්ලොක් හෝම්ස් පොත් ටික සේරම ගෙනත් දෙන්න පුලුවන්ද"
"යහපති" කියලා ශක්‍රයා කිවුවා විතරයි මෙන්න බොලේ පොත් ගොඩක් ඇද උඩ.
මම පොත් එකින් එක තෝරලා පරණ පොත් ටික අයින් කලා. අලුතින් ලියපු පොත් ටික බෑග් එකකට දාගත්තා.
මම කරන හැමදේම ශක්‍ර දෙයියො මුල්ලකට වෙලා බලන් හිටියා. පොරට මාර ප්‍රශ්නෙ මම මොකද කරන්න හදන්නෙ කියලා.
"අනේ ශක්‍ර දෙයියනේ මේ බෑග් එකේ තියෙන පොත් ටික මට ඉංග්‍රීසිවලට හරෝලා දෙන්නකො."
"එම්බල මනෝජය. තා මේ පොත් රැගෙන ගොස් කුමක් කරන්නට සැරසෙන්නේද?"
"අනේ දෙවියනේ.මේ පොත් ටික අරන් ගිහින් කොනල් ඩොයිල් මහත්තයට දීලා කියනවා ලංකාවෙ එකෙක් තව අවුරුදු ගානකින් මේ වගේ විනාශයක් කරනවා ඒ නිසා මැරෙන්න කලින් තව ශර්ලොක් හෝම්ස් කතා ටිකක් ලියන්න කියලා. ඔය පොත් ටික කියෙවුවම ආතර් කොනල් ඩොයිල් හාට් ඇටෑක් එකක් ඇවිත් මලේ නැත්නම් අනිවා මිනිහා තව පොත් 20ක්වත් ලියලා තමා මැරෙන්නෙ. ඒ තරම් ජරා විදියට අප්පා ශර්ලෝක් හෝම්ස් කතා මේ චන්දන මෙන්ඩිස්කාරයා ලියලා තියෙන්නෙ. මේ වගේ ජරා කතා ටිකක් පෙන්නන්න විතරයි ඕනෙ මිනිහා හෝ ගාලා කතා ලියයි. එතකොට අපිට මේ වෙද්දි කොනල් ඩොයිල්ගෙම කතා කියවන්න පුලුවන් දෙයියො......"
මගේ කතාව ඇසූ දෙවියන්ගේ රැස් වලල්ල අතුරුදහන් වූ අතර ඇස් දෙක ඇහි බැමි දෙකටම උඩ ගියේය.
"පුතේ මට උඩින් කෝල් එකක්. මම ටක් ගාලා උඩට ගිහින් එන්නම්" කියූ ශක්‍රයා චුත වූ අතර මේ වනතෙක්ම ශක්‍රයාගෙන් කිසිදු ආරංචියක් නොලැබුනි.
මටත් වෙන දේවල්.
.....
මනෝජ් ගුණවර්ධන.

No comments:

Post a Comment