Thursday, November 5, 2015

තනි අලියා


පසුගිය සතියේ අප නෑදෑයෙකුගේ හදිසි අභාවයක් හේතුවෙන් මහියංගනයේ සිට 28km දුරින් පිහිටි ගමකට පියනැගුවෙමි. එහි රාත්‍රී කිසිවෙකු තනිව ගමන් යන්නේ නැත. හතර වටේටම කැලවල් හා කුඹුරුය. නිතරම අලි වගාපාලුකිරීම් සිදුකරන අතර ඉදහිට ගම්වැදීම්ද සිදුවන බව මා හට අසන්නට ලැබුනි.
අනේ මම ඉන්න දවස් ටිකේ අලියෙක් වරෙන්කෝ, වරෙන්කෝ කියා හිත ඇතුලෙන් උදේ දිවා රෑ පුරා පැතූ නමුත් ආ අලියෙකු තියා ඇසුනු අලි වෙඩිල්ලක්වත් නැත. මේ වගේ කැලේකට ඇවිත් අලියෙක්වත් දකින්නෙ නැතිව යන එක මගෙම කරුමෙ කියා මට සිතුනු වාර අනන්තය.
අවසානයේ දවස් 6ක් ගෙවීගොස් බණදින පන්සලේ හාමුදුරුවන් බණට වඩම්මවාගෙන ඒමට මෝටර් බයිසිකලයක අයියා කෙනෙකු පන්සලට ගියේ එම ප්‍රදේශවල හාමුදුරුවරුන් මෝටර්බයිසිකල්වල ගමන් බිමන් යන බැවිනි. බණ සදහා හාමුදුරුවන් වහන්සේ වඩම්මවාගෙන පැමිණ බණ අවසන් වනවිට රාත්‍රී 8.30 පසුවිය.
"මල්ලි පන්සලට යන්න මාත් එක්ක තව බයික් එකක් එවනවද. මේ වෙලාවෙ තනියම යන්න බෑ." යනුවෙන් අර අයියා පවසන විට මගේ ඉහේ මලක් නොව මල් හතක්ම පිපුනි.
"හරි අයියෙ යන්. මම එන්නම්" කියූ මා පාරට පැන දවස් 6 පුරා බුලත්විට, බිස්කට්, ප්ලේන් ටී පගාව දී සෙට් කරගත් එකෙක්ගෙක් බයික් එකක යතුරක් ඉල්ලාගත්තේ අනේ අලියෙක් අදවත් වර යන සිතුවිල්ල හිතේ පුරවගෙනය.
හාමුදුරුවන් පෙරටුකොටගත් බයික් එක ඉදිරියෙන්ද මා පසුපසින්ද වල ගොඩැලි මතින් හිමින් හිමින් ඉදිරියටම ගමන් කලේ පාරවල් වල ඇති සැපපහසුව නිසාය. පන්සලට හාමුදුරුවන් වහන්සේ වඩම්මවා නැවතත් ඒමට අප පිටත් විය. ටික දුරක් එනවිට එකවරම ඉදිරියෙන් ගිය බයික් එක පාරෙන් පිටට පැන වෙල දෙසට හරවා නතරවිය. මා ද බයික් එක නතරකරගත්තේ මේ යකා මොන මගුලක් කරනවාද යන්න සිතමිනි.
"මල්ලි පාරට ලයිට් එක ගහපන්. අලි ඇවිත්. අර ඈතින් ටෝච් ගහනවා නිමනවා පේනවා නේද. ඒ අලියට."
"අඩේ පට්ට. ඇඩෙනවා. අලියව දකින්න ලැබුනනම් පට්ටම පට්ට" යනුවෙන් මා සිතින් මටම කියාගතිමි.
වෙල දෙසට බයික් එකේ ලයිට් එක ගසා හතර වටේටම හැඩල් එක කරකවන්නට වූයේ අලි සිටිනවානම් පෙනෙනා බැවිනි. නමුත් බයික් එකේ එළියද වෙලෙන් කාලක දුරටවත් විහිදුනේ නැත. ඒ තරම් විශාල වෙල් යායකි. බයික් එක රේස් කර තව ටිකක් ඉස්සරහටගෙන වෙලේ පාර අසල තිබෙන අනිත් කොනට හරවා නැවතත් හැඩල් එක කරකවන්නට වූයේ අපි යන පැත්ත එය බැවිනි. එක තැනකදී හැඩල් 1ට කැරකවීම නතරකර බයික් එක පාරට ගත්තේ බයික් එකේ ලයිට් එක ගසාගත් තැන වෙනස් නොකරගෙනමය.
-"මල්ලි බයික් එකේ සිග්නල් ලයිට් එක දාගනින්. මොනා උනත් බය වෙන්න එපා. මාත් එක්කම මගෙ පස්සෙන් වරෙන්. බයික් පදින්න පුලුවන්නෙ හොදට... බය වෙන්න එපා. තනි අලියා ඉන්නෙ. මම බයික් එක දාලා කැලෑ පැන්නොත් විතරක් මම පනින තැනදි පැනපන් මගෙ පස්සෙන් වරෙන්. වෙන කිසිම තැනකදි බයික් එකෙන් පනින්නනම් එපා.මගෙ ලගින්ම වරෙන්."
දැන් දැන් නම් මගේ පපුවේ ගගක් මෙන් දාඩිය බිදු මතුවේ. සමහරවිට ඒ වෙලේ තිබූ රස්නය එයට හේතු විය හැක. අතේ ඇගිලි හා කකුල් දෙක වෙවුලන්නට පටන් ගෙන තිබුනේ හරි හමන් කෑමක් නොමැතිව මලගෙදර නිදිමැරූ නිසා විය හැකිය. හිත ඇතුලෙන් ඉතිපිසෝ ගාථාව ඉබේම කියවෙන්නට පටන් ගත්තේ බණ අසා හිත තුල තිබු ශ්‍රද්ධාව නිසා විය හැකිය.
ඒ අතරතුර එකවරම අතේ වෙවුලීම නිසා බයික් එක එක වරම නතර වූයේ මාව සිහිනැතිකරවීමට ආසන්න කරවමිනි. නිවුටල් එක උඩටදෝ යටටදෝ කියා මා හට අමතක වී තත්පර 10ක් පමණ දගලා බයික් එක ස්ටාට් කරගන්නා විටත් අර අයියා "ඕක ඔතන දාලා නැගපිය මේකට" කියා මා හට දෙවරක්ම කියා අවසන්‍ ය.
අනතුරුව පටන් ගත්තේ වලවල් උඩින් පියඹමින් 60ට 70ට 80ට ගිය කිලෝමීටරයක පමණ ගමනකි. පාරත් සමග තිබූ වෙල අවසන් වී අතුරු පාරට හරවා ටික දුරක් ගොස් "දැන් අවුලක් නෑ මල්ලි හිමින් යන්" යන වදන් ටික මා හට හැදෙන්නට තිබූ හාට් ඇටෑක් එක නැවතීමට සමත් වූ බවක් මා හට හැගිනි. තවත් විනාඩි 2කින් පමණ බණ ගෙදරට පැමිණ බයික් එකේ ස්ටෑන්ට් එක ගසා මම බිම වාඩි වූවා මතකය. නැවතත් මා හට සිහිය එන විට කොල්ලන් හත් අට දෙනෙකු වටවී මගේ මූණට වතුර ගසමින් සිටි අතර මා සිටියේ බංකුවක් මතය. කෙමෙන් කෙමෙන් දෑස් දෙක පිසදමා සිහිඑළඹාගත් මා වාඩිවී මුලින්ම වටපිට බලා මාත්සමග පන්සලට ගිය අයියාව සොයාගෙන ඇසුවේ එකම ප්‍රශ්නයකි.
-අයියෙ, හැමදාම මෙහෙමද?
-මල්ලි පිස්සු කතා කරනවා. අද මුකුත් උනේ නෑ. අද අලියෙක් දැක්කා විතරයි. වෙනදට වෙන දේවල්වල හැටියට මේවා සුලු දේවල්. අපි හැමදාම රෑට ගමන් බිමන් යන්නෙ ඔහොම තමයි. කොයි වෙලේද ශුවර් නෑ.

No comments:

Post a Comment