Thursday, November 5, 2015

තැඹිලි, තැඹිලී


ටීන් ටීන්. මැසේජ් එකක් පැමිණි හඩත් සමග මා දුරකථනය අතට ගත්තෙමි.
You have new txt msg from 'මගෙ පණ 3'. 'මොන රෙද්දක්ද මන්දා. දැන් ඉතින් එක දිගට මැසේජ් දාපන්කො. ගේම් ගහන්නත් නෑ රෙද්ද.' යනුවෙන් හිතෙන් බණිමින් මා මැසේජ් එක ඕපන් කලෙමි.
'බබා. හෙට මට ක්ලාස් නිවාඩු.'
ඉතින් යෝදියෙ මට පාන්ද කියා අසන්නට සිතුනු නමුත් එසේ අසා පසුව ඇතිවන ප්‍රතිවිපාක ගැන සිතීමෙන් අනතුරුව මා ආදරණීය පිළිතුරක් ටයිප් කලෙමි.
'ආ හරි ශෝක්. චූටි බබාට හෙට හොදට නිදාගන්න පුලුවන්නෙ'. යන මැසේජ් එක මා සෙන්ඩ් කල සැනින් තවත් මැසේජ් එකක් පැමිණි හඩ ඇසුනි.
'බබා, අම්මා දන්නෙ නෑ හෙට ක්ලාස් නෑ කියලා'.
අප්පට සිරි. දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනවා කියන්නෙ මේකට තමා. ගේම් වගේද කෙල්ල. ලැප් එකේ Power බොත්තම ඔබා එය වසා දැමූ මා කෙල්ලත් සමග මැසේජ් කොටන්නට පටන් ගතිමි.
අවසානයේ හෙට දින මා සමග රවුමක් ගැසීමට ඇය කැමතිවූයේ මාගේ බලවත් ඇවිටිල්ල නිසා බව ඈ මට හගවන ලදී.
අතේ සතේ නැත. කෝල් දෙකක් තුනක් හතර වටේට ගත් නමුත් උන්ද නන්නත්තාර වී තිබුනි. බැදගත් බෙරේ කෙසේ හෝ ගසන්නට වන බැවින් පසුදා උදෑසනම ඇයත් සමග ප්‍රීතිපුර බීච් එක දෙසට බයික් එක පැදගියේ බයික් එකේ තිබූ පෙට්‍රල් ටිකට පිංසිදුවන්නටය. වෙරළේ ඇති කඩොලාන සෙවනකට වී පෙම්බස් දොඩමින් සිටිනාවිට කාලය ගතවනවා නොදැනුනි.
'තැඹිලි, තැඹිලී//' යනුවෙන් හඩ නගමින් පිහියක් ගත් එකෙකු හා තැඹිලිවල්ලක් කරතබාගත් එකෙකු අප අසලට පැමිණ 'මල්ලි රස තැඹිලි ගෙඩියක් බොමුද' යනුවෙන් පද්දා ඇසුවේ අපවෙත අමුතුම බැල්මක් හෙලමිනි.
'එපා මචං, තැඹිලි බොන්න බෑ' යනුවෙන් මා පිළිතුරු දුන්නේ සාක්කුවේ ඇති රුපියල් 150ටද කෙලකරගැනීමට නොහැකි නිසාය.
'එහෙම කරන්න එපා මල්ලි, අපි ගෙඩි දහයක් ගන්න කිවුවෙ නෑනෙ. ගෙඩි දෙකක් අරන් බීපන්'
'එපා මචං. මේ වෙලාවෙ තැඹිලි බොන්න බෑ' යනුවෙන් මා නැවතත් පිළිතුරු දුනි.
'මල්ලි උඹලා මෙතන ඉදන් තැඹිලි බොන්න බැරිනම් කාපන්, හැබැයි අපෙනුත් තැඹිලිගෙඩි 2ක් අරන්. එහෙම නැත්නම් මෙතනින් නැගිටලා පලයන් යන්න' යනුවෙන් පවසමින් කරේ තිබූ තැඹිලිවල්ල බිම තබා අපදෙදෙනා වෙත මරුමුස් බැල්මක් හෙලන ලදී.
ක්ෂණිකව නැගීසිටි මා අඩි දෙකක් ඉදිරියට පැන පිහිය අතැති එකාගේ අත අඹරා පිහිය උදුරාගෙන ඌගේ බඩට පහරක් කළ අතර අනිත් එකාගේ හක්කට පහරක් එල්ල කලපසු ඔවුන් බිම ඇදවැටෙනා හැටිත් කෙල්ල ඉදිරිපිට මා වීරයෙකු වෙන ආකාරයත් මාහට මැවී පෙනුනි.
"මනා, මෙන්න චාන්ස් එක. වීරයෙක් වෙනවනම් හිතෙන් ගගහා ඉන්නෙ නැතිව ගහපන් ඕකුන්ට" කියා මා හදවත මට බලකරනා ලදී.
"හරි අයියා, තැඹිලි ගෙඩියක් කීයද? දෙකක් කපන්නකො." යනුවෙන් මා මුවින් ගොතගසමින් පිටවිය.
'එකක් 250යි. 500ක් දීපන්කො' කියමින් ඔහු තැඹිලි ගෙඩියක් කපන්නට විය.
හුටා. මගෙ සන්තකේටම තියෙනෙ 150යි. දැන් මොකද කරන්නෙ. කෙල්ලගෙ පිහිට පතන්න තමා වෙන්නෙ. මේ කුඩ්ඩො එක්ක තැඹිලිගෙඩියකට රණ්ඩුවෙලා ගුටිකන්න ඕනෙ නෑ.
'බබා ඔයාගෙ අතේ තියෙනවනම් 350ක් දෙනවද?' යනුවෙන් මා ඇගේ කනට කර රහසින් පැවසුවෙමි. බලෙන් පිප්පූ පොහොට්ටුවක් සේ ඇති මුහුණින් මා දෙස බැලූ ඈ බෑග් එකට අතදමා රුපියල් 500යේ කොලයක් මා අතතැබුවේ මා වෙත ඔරවමින්ය.
තැඹිලි ගෙඩි දෙක කපා දී මුදල් ගත් ඔවුන් නැවතත් තැඹිලිවල්ල කරතබාගෙන 'අපි එහෙනම් ගිහින් එන්නම්, මල්ලි හොදට තැඹිලි බොන්නකො. ලොදටිකකුත් කන්න.' කියමින් නොපෙනී යනතුරුම මා බලාසිටියේ හිතේ බය තරමක් හෝ මකාගැනීමේ අදිටනිනි.
පසුව මාවෙත ඔරවමින් සිටි කෙල්ල වෙතට හැරුන මා 'උන් කුඩ්ඩො බබා' යනුවෙන් පැවසුවා පමණි.
"මොනවද මනුස්සයො කරන්නෙ, එක එකාට බයේ ඔහොම සල්ලි දන්දුන්නම හරිද? මට හිතුනා උන්ට කුඩේ කැඩෙනකන් ගහන්න. තමුසෙත් පිරිමියෙක්ද ඕයි?"යනුවෙන් ඈ විමසන විට මාහට පොළව පලාගෙන යාමට සිත්විය.

No comments:

Post a Comment