Thursday, November 5, 2015

වෙසක්


මීට වසර 9කට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
එකල මා 10 වසරේය.
ගුරුගෙදර පන්තියේ වෙසක් කූඩු තරගයක් පැවැත්වීමට තීරණය කර තිබූ බැවින් එදින පන්තියට ගොස් කූඩු හදන්නට පටන් ගත්තෙමි. කෙමින් කෙමෙන් දවල් කෑම වෙලාව පසුවී බඩේ පණුවන් කෑගසන්නට වනවිට 'සුදමයා' සමග හොර රහසේ එතනින් මාරුවී උගේ ගෙදරට ගොස් බත් පිගානකට වගකියුවෙමි.
සුදම් - 'අරුන්ටත් මොනා හරි අරන් යන්න තිබ්බානම් මරු බන්.'
මම - 'උඹේ අතේ කීයක් තියෙනවද? මන් ළග 150ක් විතර ඇති. සල්ලි දාලා බිස්කට් එකක් අරන් යන්ද?'
සුදම් - 'මගෙ අතේ 200ක් විතර තියෙනවා. වරෙන්කො කිරිබත්ගොඩට යන්න. අපි චොකලට් ටිකක් ගමු' කියූ සුදම් බයිසිකලයට නැග කිරිබත්ගොඩ දෙසට පාගන්නට විය.
අනිත් බයිසිකලට නැගි මාද ඔහු පසුපස හතිදමමින් කිරිබත්ගොඩට පාගන්නට වූයේ ජීවිතයම උඩුයටිකුරු කල සිදුවීමක් වෙතැයි නොදැනය.
කිරිබත්ගොඩ ලාෆ්ස් ෆුඩ් සිටියට රිංගාගත් අප චොකලට් තියෙන රාක්කයවෙත පිය නැගුවෙමු. ඒවායින් එකක් දෙකක් සුදමයාගේ ටී ෂර්ට් එක එසවී බඩත් කලිසමත් අතරට රිංගුවේ අසුරු සැනිනි. තවත් චොකලට් තුනක් මා අතේ තැබූ ඌ මටද ඉගි කලේ එයම කරනා ලෙසයි. හිතන්නට කාලයක් නොවූ බැවින් මාද ඔහුව අනුගමනය කලේ බෑ කියන්නට බැරි කමටය. අනතුරුව රුපියල් 120ක චොකලට් එකක් අතට ගත් අප කැශියර් එක වෙත පැමිණ එයට මුදල් ගෙවා එතනින් ඉදිරියට අඩියක් තැබුවා පමණි.
'පුතාලා පොඩ්ඩක් ඔහොම ඉන්නවද' යන හඩක් අප පසුපසින් ඇසුනි.
එය කිවුවේ කවුරුන්දැයි බලන්නට අප හැරෙනා විට සිකියුරිටි ඇදුමින් සිටි අයෙකු පැමිණ අප බඩ, ඉන, සාක්කු පමණක් නොව මුළු ශරීරයම අතගා චොකලට් 8ක් එළියට ගත්තේ අපව අඩන්නට ඔන්න මෙන්න කරවමිනි.
මැනේජර් යැයි කිව හැකි ටයි එකක් දාගත් කලු මහත අයෙකු ඒ චොකලට් බිල දමන්නට අණ කලේ අපව තවත් රතුකරමිනි. බිල රුපියල් 975කි. දෙදෙනාගේම සාක්කු හිස්කල නමුත් රුපියල් 286කට වඩා අප සතු නොවීය.
සුදම් - 'සර්, අපි ළග සල්ලි තියෙන්නෙ මෙච්චරයි සර්...... සර්, කෝල් එකක් ගන්න දෙනවද සර්........ සර්, අපි ඉතුරු සල්ලි ටික ගෙනත් දෙන්නම් සර්......'
මැනේජර් - 'කෝල්? , පොඩි කාලෙදිම හොරකම් කරන්න පුරුදුවෙලා දැන් එනවා ලොකුකමුත් කියෝගෙන. ගලෝපිය දෙන්නගෙම ටී ෂර්ට් දෙක.ගලොපන් දැන්ම.' යන අණ කිරීමත් සමග ටී ෂර්ට් දෙක ගලවා ඔහුට දුන්නේ දැන්වත් යන්න කියයි යන සිතුවිල්ල හිතේ තියාගෙනය. නමුත් එතනින් ඌ නැවතුනේ නැත.
මැනේජර් - 'වරෙන් මාත් එක්ක' කියා ෆුඩ් සිටියේ පසුපස දොරටුවක් තුලින් අප රැගෙන ගියේ ගබඩාවක් වෙතය.
මැනේජර් - 'මේ පිටි ගෝනි ටික අර කෙලවරට ඇදපන්. අර තියෙන සීනි ගෝනි ටික මෙතනට දාපන්' යැයි නැවතත් අණ කළේය.
කරන්නට දෙයක් නැත. උගෙ පදෙට නටන්නට අපට සිදුවේ. දාඩිය දමමන්, පිටිවලින් නැහැවෙමින් විනාඩි 45කට පමණ පසු අප එය අවසන් කලෙමු. අනතුරුව තවත් දොරක් විවරකෙරූ මැනේජර් 'දැන් ඔහොම ගෙදර පලයන්' යැයි කියා ඒ දොරෙන් අපිව එළියට දැමුවේ අපව තවත් අන්ත අසරණ කරමිනි.
ඇග පුරාම තිබූ දහඩියට පිටි ඇගට ඇලවී ගොසිනි. අත්වලද පිටි බැවින් ඒවා පිහිදාගනට ක්‍රමයක් නොවීය. අවසානයේ දෙවියන් මෙන් අපට පිහිට වූයේ එතැන සිටි සිකියුරිටි අයියා කෙනෙකි. අපගේ විස්තරය අසා "මාත් කොල්ලෙක්නෙ බන්. පොඩ්ඩක් හිටපන් මගෙ බෝඩිම මේ ළග තියෙන්නෙ. ටීෂර්ට් දෙකක් මම උඹලට දෙන්නම්.හැබැයි ඒ දෙක ආයිත් මට ගෙනත් දීපන්." යැයි පවසා අපට ටීෂර්ට් දෙකක් ගෙනත් දුන්නේ අපගේ පූරුවේ පිනකට මෙනි. එදා සිට අදවනතෙක්ම මා සුදමයා සමග මොන දීපන්කරේක ගියද, ෆුට් සිටියකට නම් යන්නේම නැත.

No comments:

Post a Comment