Tuesday, November 10, 2015

පිරිත


"ලොක්කා, බ්‍රහස්පතින්දට තුෂාරලගෙ ගෙදර පිරිතක්. ඔන්න නොකිවුවයි කියන්න එපා. එදාට මාත් එක්ක පැයකටවත් පිරිත් අහන්න යන්න එන්න ඕනෙ" යන රාජ නියෝගය ගෙදරට ගොඩවනවිටම අම්මාගෙ මුවෙන් ඇසුනි. දැන් ඉතින් මොනා කරන්නද. යන්නම වෙනවා. නැත්නම් ආයිත් ගෙදර නිදහසේ වසලා හමාර වන බැවින් පිරිත් ගෙදර යාමට මා සිත හදා ගත්තෙමි.

කෙමෙන් කෙමෙන් දින ගතවී පිරිත් දින උදාවිය. එදින රාත්‍රී 8ට පමණ පිරිත් ඇසීමට අම්මාත් කැටුව මා පිටත් විය. පිරිත ගිහි පිරිතක් වූ අතර සාලයේ වැඩි පිරිසක් නොසිටි තැනක් බලා මා බිත්තියට හේත්තුවක් දමාගෙන වාඩිවිය. විනාඩි විස්සක් පමණ ගත්වූ නමුත් පිරිත් කීමට සූදානම්වනවා විනා පිරිත් කීම පටන් ගන්නා පාටක් පෙනෙන්නට නැත. අම්මා ඈත කොනක වාඩිවී ගමේ අනිත් අම්මාණ්ඩිලාත් සමග ලොකු කඩයක් දමා ඇති බවක් මම දුටිමි. අවසානයේ ෆෝන් එක ගෙන ගේම් එකක් ගසන්නට පටන් ගත්තේ කරන්නට කිසිවක් නොමැති කලය.

 තවත් ටික වේලාවකින් "පංච ශීලයේ පිහිටුවීම සදහා රැස්ව සිටින පිංවතුන් සාදුකාරයක් දී නමස්කාරය කියන්න" යන්න යකඩ කටින් ඇසුනි.මාද හිස පහතට නමා පන්සිල් ගැනීමට නමස්කාරය කියන්නට පටන් ගතිමි.එවිටම වාගේ ඩෙනිමක් හා සුදු පාට ටී ශර්ට් එකක් ඇදගත් පට්ට කෑල්ලක් මාගේ අසලට පැමිණ මට එහා පැත්තෙන් වාඩිවනවා මාගේ ඇස් කොනින් දැක්කෙමි. දැන් පන්සිල් ගැනීම කෙසේවෙතත් මගෙ එහාපැත්තෙ ඉන්න කෑල්ල කවුද යන්න මා හට ඇති ලොකුම ගැටලුවයි. ඇස් කොනෙන් බලනවා විනා මුණ හරවා බලා චාටර් වීමට මා හට හිතක් නොමැත. මගෙ මොලේ ගම පුරාම ඇති කෙල්ලන්ව ස්කෑන් කළ නමුත් මේ කවුදැයි තවමත් මාගේ රේඩාර් එකට අල්ලා ගැනීමට නොහැකිය.

 මෙලෙස විනාඩි 10ක් පමණ ගතවනවිට කෙල්ල ඉන්නා විදිය වෙනස් කර කකුල් දෙක නමාගත්තේ මගේ ඇගේ ගෑවීගෙනය.දැන් කෙල්ලගේ කකුලක් ඇත්තේ මගේ කලව උඩ ලාවට ගෑවීගෙනය. කෙල්ල ඈත් වෙන පාටක්ද නැත. "යකෝ මේකි මාව ටෝක් කරනවාවත්ද". තවත් විනාඩි 10ක් 15ක් ඇතුලත කෙල්ලගේ මුළු කකුලේම බර මගේ කලව උඩය. නිකන් ඉදලා හරි යන්නෙ නෑ. අදනම් එළිවෙනකම් පිරිත් අහනවා. කෝම හරි මේකිව ටෝක් කරගන්නවා.අම්මට කාලා ගෙදර යන්න කියනවා. මම පරක්කුවෙලා මේ වැඩේ කෝම හරි කරන් යනවා, යනාදී සිතුවිලි රැසක් හිතට පහලවූයේ ඒ අතරතුරය.

 වෙලාව 9.30 පමණවන විට අම්මා සිටි තැනින් නැගිට දොර ලගට පැමිණ මට අතින් කතා කලේ කෑම කා ගෙදරට යන අදහසිනි. මම අම්මාට අතින් යන්න යැයි සන් කල නමුත් අම්මා නැවත වතාවක් මා හට කතාකරයි. අම්මාට තේරෙනවද මට තියෙන ප්‍රශ්න. මේවා කියන්නත් බෑනෙ. අම්මා යන්නෙත් නෑ. දැන් මම මොකද කරන්නෙ, යනුවෙන් මා සිතමින් සිටිනා විටදී "මනෝජ් අයියෙ අපි කන්න යන්" යනුවෙන් එහා පැත්තේ සිටි කෙල්ලගෙ මුවින් හුරුපුරුදු කටහඩකින් ඇසුනි. එවිටම මා මෙතෙක් වේලා හොරැහින් බැලූ ඒ මුහුණ දෙස මා හට ඉබේම බැලුනි. එහා පැත්තේ ඉන්නේ මගෙ නංගි හෙවත් මාමගෙ දුවය.
 ඇයි මටම මෙහෙම වෙන්නෙ යනුවෙන් මා එවිට මගෙන්ම අසාගතිමි.

 මනෝජ් ගුණවර්ධන
10-11-2015

Thursday, November 5, 2015

කෙල්ලො, ශොපින් හා අවුරුදු

අලුත් අවුරුද්දට අදින්න අලුත් ඇදුමක් ගන්නට මට හිතක් නැත. එසේ වූයේ දානයක් දෙන්නටවත්, පිනක්දහමක් කරන්නටවත් ඇති බලාපොරොත්තුවක් නිසා නොව, ඇදුම් කඩවල සිටින සෙනග දුටු විටය. හැමදාම මම අනුගමනය කලේ ගියා, ගත්තා, ආවා ක්‍රමයයි. ඒත් මේ සෙනග දුටුවිට ඇදුම් නොඇද ඉන්නා එක සැපක් බව හැගෙයි. 
කොච්චර සෙනගවුවද කෙල්ලොන්ටනම් ඒ ගැන කිසිදු වගවිභාගයක් නොමැත. එක ඇදුම් කඩයක පැයක් 2ක් පමණ රස්තියාදුවී තවත් ඇදුම් කඩයකට පියමනින එක ඔවුන්ට සුලු දෙයකි. අන්තිමට ගත් මගුලකුත් නැත. අත වන වන එන අතරේ පේමන්ට් එකේ තිබෙන රුපියල් 250හේ කෑල්ලක් 500යේ කෑල්ලක් ගෙන ගෙදර යති.
ගිය සතියේ අපි පන්ති කට් කර කොහෙදෝ රවුමක් යන විට අපේ පන්තියේම තවත් කෙල්ලන් සිව්දෙනෙකු ශොපින් ගියේය.එදා රෑ ජොලියට වගේ මම ඒ කෙල්ලෙක්ට මැසේජ් එකක් කෙටුවා.
මම - කොහොමද ශොපින්?
කෙල්ල - මරු අනේ. අපි ඔයාලත් එක්ක කතා කරලා ගිය වෙලේ ඉදන්(දවල් 1ට පමණ) තිලකවර්ධන එකෙයි කැන්ඩි එකෙයි හවස් වෙනකම් ශොපින් කලා.
මම - එච්චර වෙලා? gasp emoticon මොනාද ගත්තෙ?
කෙල්ල - අනේ මොනා ගන්නද. අපි නිකන් ඇදුම් බල බල කියෝ කියෝ ඇවිද්දා.
grin emoticon wink emoticon tongue emoticon
අනේ මෙහෙමත් කෙල්ලො.

බ්‍රෑන්ඩ් නිව්



මේක අපේ Accounting සර්ට උන ඇබැද්දියකි.
11 වසරේ ළමුන් සමග විනෝද චාරිකාවක් යන අතරමග මෙය සිදුව ඇත.
චාරිකාව අතරතුර එක්තරා ගැහැණු ළමයෙකු පිරිමි ළමයෙකු වෙත බැණගෙන බැණගෙන යන ආකාරයක් සර්ට පෙනීගිය හෙයින්, ඔවුන් වෙත කිට්ටුවී ප්‍රශ්නය කුමක්දැයි විමසන ලදී.
Grl - බලන්න සර්, මෙයා මහ වනචර කතා කියනවා.එපා කිවුවට අහන්නෙත් නෑ. මම පරණ බඩුවක්ලු.
Boy - මම වනචර කතා කිවුවෙ නෑ සර්. ඔය බොරු කියන්නෙ.
Grl - අනේ මේ, කට වහන් ඉන්නවා මෝඩයො(කොල්ලට). සර්, මෙයා කියනවා මම සෙකන්ඩ් හෑන්ඩ්ලු. බ්‍රෑන්ඩ් නිව්(Brand New) නෙමෙයිලු.
Boy - ඉතින් සර් මම ඇත්තනෙ කිවුවෙ.
Grl - මෝඩයො(කොල්ලට).
මට කොල්ලො දෙන්නෙක් හිටියා තමයි සර්. ඒත් මම සෙකන්ඩ් හෑන්ඩ් නෙමෙයි. ඒගොල්ලො කවුරුත් මාව පාවිච්චි කලේ නෑ. දැනුත් කොල්ලෙක් ඉන්නවා. එයත් මාව පාවිච්චි කරන්නෙ නෑ. මම බ්‍රෑන්ඩ් නිව් සර්. මම කැමති නෑ මාව පරණ බඩුවක් ගානට දානවට.
සර් - (අන්දුන් කුන්දුන් වී උඩබිම බලමින්, මොලේ කැරකෙන්නෙට වී) හ්ම් හ්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.

එයා


එදා පුරුදු පරිදි මම උදේ පාන්දර 7.30ට නැගිටලා 8.10 වෙද්දි වැඩට යන්න ලෑස්තිවෙලා දඩු මොණරෙට නැග්ගා. හැමදාම වේලාසනින් නැගිටින නිසා මම හුගක් හිමින් යන්නෙ. අන්න එහෙම හිමින් යනකොට තමයි එයාව මම දැක්කෙ. දැක්කා කිවුවට මම හරියට එයාව දැක්කෙ එයාගෙ ලගටම ගියාට පස්සෙයි. මම ගොඩාක් හිමින් ආව නිසා මගෙ දඩුමොණරෙ සෑහෙන දුරක් බ්‍රේක් පාරට ලිස්සන් ගියා. ඒක නැවතුනේ එයාගෙ ඇගේ ලාවට හැප්පිලා. හැප්පුනේම නෑ, ලාවට ගෑවුනා විතරයි. ඒත් එයා හුළං පාරටද කොහෙද බිම වැටුනා.
මම බයික් එකෙන් බැස්සා නෙමෙයි, පැන්නා.
මම එයා ළගට ඇවිදන් ගියා නෙමෙයි, පියෑඹුවා.
ඒ වෙලේ මගෙ පපුව ගහපු බෙර සද්දෙ ඇහිලද කොහෙද පාරෙ යන කාර් එකක් බ්‍රේක් කරලා නැවැත්තුවා. දෙයියො බැලුවා වගේ ඒකෙන් සූකිරි අක්කි කෑල්ලක් බැහැලා ආවා. ඒ වෙද්දි මම බිම වැටුන එයාව කෙලින් කරලා ඉවරයි. එයත් මගේ අතේ එල්ලිලා හිටගත්තා.
මම - ඔයාට තුවාලද?
එයා - නෑ අයියා. ඒත් කකුල රිදෙනවා වැදිච්ච පාරට. (අම්බේ මේකිගෙ බොරු. එච්චර සැරට හැප්පුනේ නෑ.)
මම - අපි ඉස්පිරිතාලෙකට යමුද නංගි.
එයා - ඕනෙ නෑ අයියා, එච්චරම අවුලක් නෑ. මගෙ අතෙයි වැරැද්ද මම එක පාරම වෙන සිහියක ඉදන් පාර පැන්නෙ. අනේ සොරි.
මම - (මෙච්චර වෙලා පපුවෙ තම්බපු බිත්තර ටික නිමන්නට ශර්ට් එක ඈත් කර හුළං ටිකක් පිඹගනිමින්) ඒක අවුලක් නෑ නංගි. ඒත් වෙන වාහනයක් ආවනම් මීට වඩා දෙයක් වෙන්න තිබ්බා.
කාර් එකෙන් බැහැපු සුදු අක්කියා - නංගි ඔයා වැඩට යන ගමන්ද? (නංගි ඔලුව වනයි). පොඩ්ඩක් ඇවිදින්න බලන්න. අමාරුනම් මගෙ කා එකේ හොස්පිටල් එකට යන්.
එයා - තෑන්ක්ස් අක්කා. ඒත් අමාරුවක් නෑ . මේ ශොක් එකට ඇගම වෙවුලන්නෙ. තව පොඩ්ඩක් මෙතන ඉදලා මම පාර පැනලා යනවා.
කාර් එකෙන් බැහැපු සුදු අක්කියා - (මගේ දිහාට හැරෙමින්) ඔහොමද මල්ලි වාහන එලවන්නෙ. මම දැක්කා මගේ කා එකත් ඉස්සර කරන් පිඹලා ගියපු විදිය. මෙයින් ගියා ඇති. මීට පස්සෙවත් හිමීට යනවා.
මම - frown emoticon frown emoticon frown emoticon
කාර් එකෙන් බැහැපු කලු මහත කැත අක්කා - එහෙනම් මම ගිහින් එන්නම්.
එයා - තෑන්ස් අක්කා හෙල්ප් කරන්න ආවට.
(වාහනයට නැග කලු තඩි බතල කැත අක්කා යන්නට යයි)
එයා - අයියා යන්න. මම තව ටිකකින් යන්නම්.
මම - බෑ බෑ නංගි. මොනා උනත් මගෙත් වැරැද්දක් තියෙනවා. මාත් පිස්සා වගේ විදලා ආවෙ. තව පොඩ්ඩෙන් මේක පෙරලෙනවා. මාත් වැරදියි. ඔයාව ඇරලවලා මම යන්නම්.
එයා - හරි අයියා, මම පාර පැනලා යන්නම්. අයියා යන්න.
මම - එහෙනම් එන්නකො මම ඔයාව පාර පන්නන්න.( එයාගේ අතින් අල්ලාගනිමින් පාර පනියි.) නංගි බස් එකේද යන්නෙ?
එයා - ඔව් අයියා. නිට්ටඹුව බස් එකේ යන්නෙ.
මම - (බස් හෝල්ට් එක යැයි සිතෙනා තැනකට පැමිණ) මේතන නේද බස් හෝල්ට් එක? මම ඔයාව බස් එකකට දාලම යන්නම්.
එයා - හා අයියා.
(විනාඩි 5ක් පමණ නිහඩව ගෙවී යයි.ඈතින් නිට්ටඹුව බස් එකක් ඇදෙනු පෙනේ)
මම - නංගි ඇත්තටම අමාරුවක් නෑ නේද?
එයා - නෑ නෑ අයියා. ඇත්තමයි.
මම ගිහින් එන්නම් අයියා. අනේ මන් හින්දා උන කරදරවලට සොරි හොදේ.
මම - ඉට්ස් ඔකේ ඉට්ස් ඔකේ. (එයාව බස් එකට නග්ගවයි)
ඔන්න ඔහොම තමා අමරණීය ආදර කතාවක් පටන් ගත්තෙ. ඒත් පටන් ගැන්ම විතරයි. එදායින් පස්සෙ අද වෙනකම් එයාගෙ දූවිල්ලක්වත් හොයාගන්න බැරි උනා.
අනේ මම වගෙ මොඩයෙක්. අඩුම තරමෙ ඉන්න තැනැක්වත්, ෆෝන් නම්බර් එකක්වත් අහපි. 

කූඹි



ඔන්න දවසක් කලු කූඹි රැලක් කෑම හොයාගෙන ගුලෙන් එළියට ආවා. කූඹි රැලේ එක එකා එක එක පැතිවලට ගිහින් පුංචි පුංචි කෑම ජාති ගොඩක් හොයාගෙන ඇවිත් ඒවා ගුලේ ගබඩා කළා. එයාලා ගොඩක් මහන්සි වෙලා දවස්පතා වැඩකලා. සමහර දාට කෑම ආකර පිටින් එයාලට හම්බවුනා.
ඒ කූඹි රැලේ නායක කඩියා, හැමදාම උදේ ඉදන් රෑ වෙනකම්ම කූඹි රැලෙන් වැඩගත්තා. කෑම හොයාගන්න අමාරු උනොත් ගල් කැටයක් හරි උස්සගෙන ඇවිත් ගුල ලගින් දාන්න කියලා කඩියා අණකලා. කූඹින්ගෙ මහන්සිය නිසා කූඹි ගුලේ ගබඩාව ටිකෙන් ටික පිරුනා.
එක දවසක් කූඹියෙක් කෑම හොයාගන්න බැරිව ආයිත් කූඹි ගුලට එනකොට ඒක කඩියා දැක්කා. කඩියා ඒ කූඹියට කතා කලා.
-උඹලට මම කියලා තියෙනවා නේද කෑම හොයාගන්න බැරි උනොත් අතපය වන වන එන්න එපා කියලා.ගල් කැටයක් හරිඋස්සන් එන්න කියලා මම උඹලට කියලා නැද්ද?
-අනේ සමාවෙන්න සර්, මම ගල්කැටයක් අරන් ආවෙ නැත්තෙ මට ඉක්මනට ඇවිත් වෙන පැත්තකට කෑම හොයන්න යන්න පුලුවන් නිසා.ගල් කැටේ අරන් එද්දි ඒකෙ බර නිසා මට හිමීට එන්න වෙන්නෙ. ඉතින් සර් මම ඒකයි ගල් කැටේ අරන් ආවෙ නැත්තෙ. අනික සර් ඇයි අපි ඈතින් ගල් අරන් එන්නෙ? අපේ ගුල හාරපුවෙලේ එළියට දාපු ගල් ටික අපේ ගුලේ ආරක්ෂාවට ඇති නේද? ඒවා මදිනම් මේ අහල පහල ගල් ඕන තරම් තියෙනවානෙ සර්. ඒවා අපිට පාවිච්චි කරන්න පුලුවන්නෙ.
මේක අහපු කඩියට හොදටම කේන්ති ගියා.
-උඹට ඒක වැඩක් නෑ. මම දෙයක් කිවුවොත් ඒක හරි හෝ වැරදි හෝ ඒක වෙන්නම ඕනෙ. උඹලා ඉන්නෙ මම කියන දේ කරන්න. එහෙම නැතිව මට හරි වැරැද්ද පෙන්නලා දෙන්න නෙමෙයි. උඹට තේරුනාද?
-තේරුනා සර්.
අපේ බොසාත් හරියට කඩියා වගේ. මම අසරණ කූඹියා වගේ හැමදේටම ඔලුව නමන් ඉන්න ඕනෙ.

ධර්මද්වීපය


මේක උදේ පාන්දර තුනේ හතර ඉදන් පිරිත් ඇහෙන රටක්. පෝයදාට විතරක් නෙමෙයි. හැමදාම උදේට ටීවි එකේ රේඩියෝ එකේ බණත් ඇහෙනවා.
දාතූන් වැඩමකරවලා කිවුවොත් රටේ එහා කොනේ ඉදන් මෙහා කොනට නඩ පිටින් වන්දනාවෙ යන්නෙ එන්නෙ. දාතු වන්දනාවෙ තරම කොහොමද කියනවානම් කිලෝමීටරයක් දෙකක් ලංවෙද්දි වාහනයක් කිට්ටු කරන්නවත් බෑ. පයින්ම තමා යන්න වෙන්නෙ. ඒ වගේද දස දහස් ගණන් පෝලිම.
වෙසක් එකට පොසොන් එකට, ගම පුරාම දන්සල්, බොදුබැති ගී, දානමාන පිංකම්.
හැමපෝයටම සිල්ගන්න මිනිස්සු ඉන්න රටක් මේක. සිල්ගන්න බැරි උනොත් පන්සල් හරි යනවා. එහෙම නැත්නම් උදේ ඉදන් මහ හයියෙන් සද්දෙ දාගෙන රේඩියෝ එකේ යන බණ අහනවා.
ඒත්,
හතර පෝයට සිල්ගන්න රටේ, උදේ ඉදන් පිරිත් අහන රටේ, දාතු වදින්න දවස් ගනන් දුක් විදින මිනිස්සු ඉන්න රටේ, අහන්න වෙන කතානම් අන්තිමයි.
ගෙරි තම්බියො, දෙමළු කොටියො කියන වෛරයෙන් මිනිස්සු අන්ධ වෙලා. මිනීමැරුම්, ළමා අපචාර, දූෂණ, මංකොල්ලකෑම්, පැහැරගැනීම්, කප්පම්, වංචා ගැන හැම පත්තරේකම මුල් පිටුවෙ ලොකු අකුරින්, හැමදාම ලියවෙනවා.
ගහපියවු, මරපියවු, කොටපියවු කියලා බුදුදහමෙ කොතනද ඉගැන්නුවෙ කියලා මම තාමත් හොයනවා. ජාතිවාදය, ආගම්වාදය ත්‍රිපිටකයෙ තියෙනවද කියලත් මම තාම හොයනවා.
උදේ ඉදන් රට ජාතිය ආගම ගැන කතාකරන බෞද්ධ යැයි කියාගන්නා ෆේස්බුක් පිටුවල තියෙන සභ්‍යත්වය, සංවරකම, හැදියාව දැක්කම මට වෙලාවකට දුකත් හිතෙනවා. ඒවගෙ තියෙන සංවර කමෙන්ට් දැක්කම මට සිංහලයා ගැන මාර ආඩම්බරයක් දැනෙනවා.
වෛරය වැපිරීමෙන් කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ කියලා බුදුහමුදුරුවො දේශණාකලේ නැද්ද කියලා මට ආයිත් පාරක් හොයන්න හිතෙනවා.
අනේ මන්දා.
මේක ධර්මද්වීපයක් ලු. ඒත් ක්‍රියාව?

මහරගම පිළිකා රෝහල


මිනිස්සු ජීවත්වෙන්න කොච්චර දුකක් විදිනවද කියලා අපිට තේරෙන්නෙ නෑ. අපේ ගොඩක් අය මේ ලෝකෙ දුක පොඩ්ඩකුයි සතුට පොඩ්ඩකුයි දරාගෙන ජීවිතේ මැදිහත් සිතින් විදිනවා. සමහරවිට දුක් කදුලැල් වැස්සක් මැද පුංචි සෙවණක ඉදගෙන සතුට විදිනවා වෙන්නත් පුලුවන්. ඒත් ජීවිතේම දුක උරුම මිනිස්සුත් අප අතර ඉන්නවා .ජීවිතේ මරුවට උකස් කරලා ඒ උකස සින්නවුනදාට වෙන දේ දැනගෙන දහසකුත් දුක් කදුලැල් හිතේ තියාගෙන උකස බේරගන්න උත්සහ කරන අයත් මේ ලෝකෙ ඉන්නවා.
අද අපි ගියා ජීවිතේ වෙනුවෙන් මරුවා සමග සටනක් කරන පුංචි ළමයි ටිකකට සතුටක් දෙන්න. ඒ මහරගම පිළිකා රෝහලට.
යන්න කලින් ඉදලම අප්සට් ගහලා තිබ්බ මගෙ ඔලුව, ඇතුලට ගියාට පස්සෙ තවත් අප්සට් ගැහුවෙ ඒ පුංචි ළමයින්ගෙ වයස දැකලා. තාමත් අම්මගෙ කිරිබොන වයසෙ ළමයිනුත් එතන හිටියා. ඒ පුංචි හිත්වල තවමත් කිසිම අදහසක් නැතිව ඇති පිළිකාව කියන්නෙ මොකක්ද කියලා. එතන හිටපු වයසින් වැඩි ළමයිගෙ ඇස්වල තිබ්බ තේරුමක් නැති බැල්ම, බලාගත්ත අත බලාගෙන කල්පනාකරන ගතිය, දුක ඒ ළමයි ඉන්න තත්වය මට පෙන්නලා දුන්නා.
අපි තෑගි දෙද්දි ඒ ඇස්වල තිබ්බ සතුට මගේ ඇස්වලට ආපු කදුලු ආයිත් හරවන්න පුලුවන් උනා.
අපි මෙහෙම ජීවිතයක් ගෙවන්න තරම් මාර වාසනාවන්තයි. හැමදේම වෙන්නෙ අපි කරන හොද නරක මත. අපි කරන දේ අපි අරගෙන යනවා. කොච්චර හම්බකරත් ඒවා යනදාට ගෙනියන්න වෙන්නෙ නෑ. පුලුවන්නම් පුංචි ළමෙක්ගෙ හිනාව, සතුට වෙනුවෙන් පුංචි දෙයක් කරන්න. ඒ සතුට ඇති ඔයාලගෙ ජීවිතේ එළිය කරන්න. අපි නාස්තිකරන දහස් ගනන් කාසි කොල අතරෙ අසරණ ළමෙක් වෙනුවෙන් එක රුපියලක් වෙන් කරන්න. මොකද රුපියල් දහස්ගානක් හැදෙන්නෙත් රුපියලේ ඒවා දහස් ගානක් එකතුවුනාම.
අපිට මේ ලෝකෙ ඉන්න හැම අසරණ ළමෙක්ටම උදව් කරන්න බෑ. ඒත් ඒ ළමයින්ට උදව් කරන්න අපේ යාලුවොන්ව පොලඹවන්න අපිට පුළුවන්. එක හිතක් හදන්න. ඔයාට පින් ගොඩක් ලැබෙයි.

බෙන්ස් කාර්


අද උදෑසන වැඩට යාමට රේස් අස්සයා පිට නැගි මා සෙමින් සෙමින් කැළණි පන්සල දෙසට ලගාවිය. පුරුදු පරිදි අංගොඩ දෙසට යන වාහන පෝලිම කිලෝමීටර් බාගයක් පමණ දුරට අදත් පෝලිම් ගැසි තිබුණි. බයික් එකේ යන අපිට ට්‍රැෆික් ප්‍රශ්නයක් නැත. වෙනදා වගේම වාහන පෝලිමෙන් දකුණට බයික් එක ගත් මම 40ට 50ට පමණ වාහන ඉස්සර කරමින් ඉදිරියට ගියෙමි.
ඉදිරියෙන් කලුපාට බෙන්ස් රථයක් මා දෙසට එනවා මා දුටු නමුත් මගේ වේගය අඩු නොකලේ බෙන්ස් රථයට පාරේ අයින් කිරීමට ඇති තරම් ඉඩ තිබූ නිසාය. එන්න එන්නම එය ලන් වන නමුත් එය පොඩ්ඩක්වත් පාර අයිනට කැපූ බවක් මට නොපෙනුනි.
'බෙන්ස් එකකට නැග්ගම උන්ගෙ හිතේ ඇති අනිත් වාහන අයින් කරන්න ඕනෙ කියලා. මගෙ බල්ලවත් අයින් කරන්නෙ නෑ. ඇයි යකෝ බස්කාරයොත් මම යද්දි ඉඩ දෙන එකේ මූට පොඩ්ඩක් අයිනට කපාගන්න බැරි හැටි' කියා සිතමින් මමද තවත් ඉදිරියට ඇදුනි.
තවත් ඇත්තේ මීටර් 40ක් හෝ 50ක් පමණි. ඒවන විට බෙන්ස් රථයේ වීදුරුව තුලින් එය පදවන්නාගේ මුහුණද මට පෙනෙනා තරමට එය ලංවී තිබුණි. රථය පදවන්නා දුටු විට මගේ ඇගම කීරිගැහී වෙවුලා යන්නට විය. 'අදනම් මගෙ අවසානෙ තමයි එහෙම නැත්නම් අතක් පයක් කුඩු' යනුවෙන් ක්ෂණිකව සිතුනි. 'පොලීසියෙනුත් ඇති ඉස්සරහ, උන් මම වැරදි පැත්තෙන් ආව නිසා මට වැරැද්ද පටවයි. බයික් එකේ ඉන්සුවරන්ස් එක තර්ඩ් පාටි. බෙන්ස් එකට මොනා හරි උනොත් මම ඉවරයි' යනාදී දහසකුත් එකක් සිතුවිලි තත්පරයක් තුල ජනිත වීය.
ඉස්සරහ බ්‍රේක් එකද, පසුපස බ්‍රේක් එකද, ක්ලච් එකද යන තුනම එකවර ඇල්ලුවා නොව ඇල්ලුනාය. උදෑසන මද වැස්සට පාර තතබරිත වී තිබූ අතර රත් උණු තාච්චියක් උඩ බටර් කෑල්ලක් ලිස්සා යනවාක් මෙන් පසුපස රෝදය ලිස්සා රුවිතයට දකුණට ගොස් බයික් එක ඇලවන්නට පටන් ගත්තේය. මා දන්නා සියලු ශිල්ප සතර පෙන්වූ නමුත් බයික් එක පෙරලී ඉදිරියට ඇදී යාම වැලැක්විය නොහැකි විය. බෙන්ස් රථය පාර මැද නතර වූ නමුත් මා ඒ වන විටත් එම රථය සිපවැළදගෙන හමාරය.
ඉස්සරකරගෙන ආ ත්‍රීවිල් රථයක අයියා කෙනෙකු වහාම පැමිණ මට නැගිටීමට උදව් කරනා තෙක්ම මට නැගිටීමට ශක්තියක් තිබුනේ නැත.
කකුලේ දණහිස ලෙලි ගොසිනි. කලිසමටද දෙවියගේම පිහිටය. කකුලට වඩා වැලමිටට බරපතලය. සුදු හම පෙනෙනා තරමටම වැළමිට ලග තුවලවී ගොසිනි. හෙල්මට් එක වහාම ගලවා බිමින් තැබූ මා ඔලුවේ ගැටගසාගෙන තිබූ ලේන්සුව ගෙන වැලමිට වෙලාගතිමි. ඒ වනවිටත් වටේ පිටේ රැස්වූ අය බයික් එක පාර අයිනට ගෙන හමාරය. අසල තිබූ කඩයක් වෙතට මා රැගෙන ගිය දෙදෙනෙකු එහි පුටුවක මා වාඩිකරන ලදී.
ඒ සියල්ල අතරේ "ඔහොමද වාහන එලවන්නෙ, පාරෙ මෙච්චර ඉඩ තියෙනවා පොඩ්ඩක් අයින් කරගන්න බැරි උනාද, ඔයින් ගියා ඇති, ඔයාට ලයිසන් තියෙනවද' ආදී ප්‍රශ්න වැලක් බෙන්ස්රථයේ රියදුරුට එල්ලවෙනවා ඇසූ මගේ සියලු වේදනා කැක්කුම් ධූරිංභූත විය.
තවත් තත්පර් කිහිපයකින් බෙන්ස් රථයේ රියදුරු මා වෙත පැමිණි අතර "මල්ලි අපි හොස්පිටල් එකට යන්ද බෙහෙත් ටිකක් දාගන්න" යනුවෙන් ඈ විමසීය. තවමත් ඈ පැලද සිටි සන්ග්ලාස් එක ගලවා නොතිබූ අතර ඇගේ මුහුණින් කිසිදු බියක් නොපෙනුනි."අවුලක් නෑ අක්කෙ මම මෙතන ටිකක් වෙලා ඉදලා බෙහෙත් ටිකක් ගන්න යන්නම්. දැන්ම යන්න අමාරුයි..................
අක්කගෙ වාහනේට ගොඩක් ඩැමේජ්ද?"
"අනේ මන්දා මම ඒක බැලුවෙ නෑ. ඒක අවුලක් නෑ. මේක ෆුල් ඉන්සුවරන්ස්. මල්ලි පාරෙ වාහන බ්ලොක් වෙලා. මම වාහනේ ඉස්සහරහින් පාක් කරලා එන්නම්" කියූ ඈ බෙන්ස් රථය වෙතට පියමැන්නාය.
"ගෑණු වාහන එලෙවුවොත් ඔහොම්මමයි මල්ලි. උන්ව ශුවර් කරන්න බෑ. මීට පස්සෙනම් කෙල්ලො එලෝන වාහන ඉස්සරහට දාන්න කලින් දෙපාරක් හිතපන්" කියා කඩේ අයියා දුන් උපදෙස මා සිතේ පහල වූ සිතුවිලි වචන කිරීමක් විය.

ඔබ


හිත රිදෙන තරන්,
ඔබ දන්නවනන්,
උණු කදුලු අරන්,
මතුදින නොමඑන්.
හද ගැහෙන තරන්,
ඔබ දන්නවානන්,
ඔබෙ සුවද අරන්,
මතු යලි නොමඑන්.
හද පතුලෙ ඉදන්,
හිත කීරි ගහන්,
ගලනා කදුලෙන්,
ඔබ යලිනොම එන්.
ඔබ යන්න ගිහින්,
කාලය ගතවෙන්,
ඔබෙ මතෙක හිතෙන්,
අමතක නොම වෙන්

Arrow හා Flash


ඊයේ රාත්‍රිය සැබැවින්ම හීනයකි.
මන්දයත් ඊයේ සිදුවූ දේ ඇත්තක්දැයි තවමත් මට වටහාගත නොහැකි බැවිනි. කිසිදු අපහසුවකින් තොරව පොල්සම්බල් හා පරිප්පු සමග පාන් ගෙඩියකින් සප්පායම් වූ මම රාත්‍රී 10 ආසන්න වන විට නින්දට වැටුනි. වැඩි වේලාවක් නිදිසුව විදීමට මට නොලැබුණි. 
'අයියෙ අයියෙ, අයියව හම්බවෙන්න කවුද ඇවිත්' යනුවෙන් හඩනගමින් මල්ලී කෑගසන හඩින් මා අවදිවිය. 'මොන රෙද්දක්ද මන්දා, ගිහින් කියපන් මට උණ මම නිදි කියලා' පැවසූ මම නැවතත් නිදන්නට විය. 
නැවතත් දෑස් පියාගත්තා පමණි. 
'අයියෙ අයියෙ නැගිටින්න, ඔයාගෙ යාලුවෙක් ඇමරිකාවෙ ඉදන් ඇවිත්' කියමින් මල්ලි කාමරයට කඩාපාත්විය.
යකෝ මට කොහෙද ඇමරිකාවෙ යාලුවො.ඉස්කෝලෙ එකට ඉදලා ඇමරිකා ගිය එකෙක්ද දන්නෙ නෑ. මොකා උනත් ගිහින් බලන්න ඕනෙ සිතූ මම කොටකලිසම පිටින්ම නිදිගැට කඩමින් එළියට බටෙමි.අප්පට උඩු කිරි අත්තට බල්ලො කාපි. පාරවසාගෙන කලු කාර් දෙකකි. සුදු පාට ඩ්‍රයිවින් කිට මරාගත් එකෙකු මිදුලට වී සිටියි. මගේ චූටි මොලේට අනතුරක ඉව වැටුනු අතර වහාම නැවතත් ආපසු හැරුනේ විදුලි වෙගයෙනි.
"තාත්තේ තාත්තේ" කියමින් පපුවේ ත්‍රම්පට් ගසමින් මම ගෙට ඇතුලුවිය.
'මොකද ලොක්කො'
'පොඩ්ඩක් එළියට යන්කො තාත්තෙ, කවුද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ' කියමින් කටුබොඩිය වසාගනිමින් මම ටීශර්ට් එකක් ඇදගතිමි.
මෙවරනම් මා යකෙකුටවත් බය නැත. අපේ ගමේ, අපේ ගේ ලග, තාත්තා ඉන්නකම් මම මහසෝනා ආවත් බය වෙන්නේ නැත.
මා ඩ්‍රයිවර් වෙත කිට්ටුවනවිට ඔහු සෙමින් සෙමින් දෙවන රථය වෙත ගොස් එහි පසුපස දොර විවරකරන ලදී.
(මින් පසුව සිදුවූ දේ ඔබගේ තේරුම් ගැනීමේ පහසුව සදහා මම සිංහලයට පරිවර්තනය කර දක්වමි)
'මිස්ටර් මනෝජ් ගුණවර්ධන, යාලුවන්ව පිළිගන්නෙ මෙහෙමද? උඹට ඊතලයක් බස්සන්න ඕනෙ බන් අපිව මෙහෙම රස්තියාදුකලාට.'
ඒ කටහඩනම් ඔහුගේමය. ඔව් සැකයක් නැත. රියෙන් බැස්සේ ඔහුමය. කාන්දමක් මෙන් එතනට ඇදුනු මා ඔහුව බදාගත්තේ සතුට වැඩිකමටය.
"ඔලිවර් ක්වීන්:-o gasp emoticon gasp emoticon :-o:-o gasp emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon , ලංකාවට ආවෙ කවද්ද බන්? යකෝ කෝල් එකක් දෙන්න එපැයි. මම එනවනෙ එයාපෝර්ට් එකට."
"ඇයි ඔලිවර් එද්දි විතරද මචං සැලකිලි, ඇයි අපි ඔටුවොද?"
හුට්ටප්පර ජංජාලයකි. ඒ කටහඩද අයිති ලොව එකම එක පුද්ගලක්ටය. කන බොරු කීවද ඇස් දෙක බොරු නොකියයි. කාර් එකේ අනිත්පස දොර විවරකරමින් එළියට බැස ඇත්තේ ඔහුමය. ඔලිවර් අතෑරි මා තත්පරයක් යනවිට සිටියේ කාර් එකේ අනිත් දොරින් බිමට බට ඔහුව බදාගෙනය.
"බෙරී ඇලන් gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon :-o:-o gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon gasp emoticon .උඹලා දෙන්නම මෙහෙ?"
"ඔලී අයියා එක්ක පොඩි වැඩකට මෙහෙට ආවා බන්. මේ ආවා විතරයි. අනිත් අය හොටෙල් එකට යවලා අපි ආවා උඹව එක්ක යන්න."
"මනා අපිට උඹෙ උදව් ඕනෙ. ලංකාවෙ විශ්වාසකරන්න පුලුවන් එකෙක්ට කියලා අපිට ඉන්නෙ උඹනෙ. බෙරීයි මායි මෙහෙට ආව වැඩේ ඉවරකරගන්න උඹෙ උදව් ඕනෙ. නැගපන්කො වාහනේට යනගමන් විස්තර කතාකරමු."
.
දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියන්නේ මේවාටය. Arrow හා Flash මාගේ උදව් සොයාගෙන ඇවිදිනි. තවත් කතා මොකටද. "තාත්තෙ මම පොඩ්ඩක් එළියට යනවා" කියූ මා කාර් එකේ දොරතුලින් ඇතුලට පැන්නෙමි.

වාහනයට නැගි මා ඇසූ ප්‍රශ්න වැලෙන් ඔලිවර්ට හා බෙරීට නිවනක් නැති විය.
'අනේ බන්, පොඩ්ඩක් කටපියන් ඉදපන්කො, අපි කොහොමත් දවස් 2ක් 3ක් ඉන්නවා. අනික උඹ තවත් කියෙවුවොත් මගින් බස්සලා අපි යනවා යන්න. එහෙම උනොත් උඹට ෆෙලසිටි දකින්න වෙන්නෙත් නෑ පුතේ' යනුවෙන් බෙරී කියනා විට ඉස්සරහ සීට් එකේ සිටි ඔලිවර් බෙරී දෙස ඔරවා බැලුවේ හතුරෙකු දෙස බලනා බැල්මකිනි.
'ෆෙලසිටි ආවා?..... grin emoticon grin emoticon grin emoticon .... හුටා.........................., මම අද හවස ඇග හේදුවෙත් නෑ. බෙරියො පොඩ්ඩක් මගෙ ලගට ඇවිත් බලපන් දාඩිය ගද එනවද කියලා?'
'අවුලක් නෑ මනා ශේප්. ඒත් ඔය ගල් ශෝට ඇදගෙන යන්න නම් බැරිවෙයි වගේ. එහෙම උනොත් ෆෙලිසිටි උඹ දිහා බලන එකක්වත් නෑ'
හුට්ටප්පර ජංජාලයකි. මට නිකම්වත් ඒක මතක් උනෙ නෑනෙ. මේ විදියට ගියොත් මගෙ කාඩ් කුඩු. දැන් ඉතින් ඔලීගෙ පිහිට පතන්න තමා වෙන්නෙ. ඒත් ඉතින් උගෙ කෙල්ල බලන්න යන්න ඌ මට ඇදුම් අරන් දෙන එකක් නෑ. frown emoticon frown emoticon
......
මොකක්ද දැන් මම කරන්නෙ කියලා මම කල්පනා කරද්දි දෙයියො බැලුවා වගේ මට හොද අදහසක් ආවා.
"ඩ්‍රයිවර් අයියා, මේ වෙලාවට ඇරලා තියෙන හොද ඇදුම් කඩයක් ලගට අපිව එක්ක යනවද" කියලා සුදුපාට කිට මරපු ඩ්‍රයිවරයට මම සිංහලෙන් කිවුවා.
'හරි සර්' කියපු මිනිහත් වැල්ලවත්ත පැත්තට හරෝලා පොශ්ම පොස් ඇදුම් කඩයක් ලගින් වාහනේ නැවැත්තුවා.
'ඔලී අයියා, ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එක පොඩ්ඩක් දෙනවද මට කලිසමක් ගන්න. මන් ටක් ගාලා එනවා. අනික ඔයාලත් කැපිලා පේන එකෙන් බේරෙන්න මෙහෙ මිනිස්සු විදියට අදින්න ඇදුමක් දෙකක් ගත්තොත් නරකද?'
'උඹෙ මොලේ තමා බන් මොලේ මනා. උඹේ වැඩේ අපේ පිටින් දාලා කරගන්න නේ ලෑස්තිවෙන්නෙ. අපිට ඕනෙකරන ඇදුමක් නෑ බන්. මෙන්න කාඩ් එක. ටක් ගාලා වරෙන්' කියමින් ඔලි ඔහුගේ කෝට් එකතුලට අතදමා රත්තරන් පාටින් වූ කාඩ් එකක් මා වෙත දිගු කලේය.
ඉන් පසුව සුපිරි පන්නයේ ඇදුම් කඩයතුලට සෙරෙප්පු දෙකක්වත් නොමැති දෙපයින් පියමැනි මා නැවතත් විනාඩි 10කින් පමණ පැමිණියේ රුපියල් හතලිස් අට දහසක රිසිට්පතක්ද අත දරාගෙනය.
........
මෙවර වාහනයට නැගුනු පසු මා දුටුවේ සුදු කිට මරාගත් ඩ්‍රයිවර්ගේ තැනට කලු කෝට් එකක් ඇදගත් සුද්දෙකු පැමිණ සිටින බවයි.
'කෝ බන් බෙරී ඩ්‍රයිවරයා?'
'ඌව පස්සෙ වාහනේට දැම්මා බන්. ඌට එක ඩ්‍රයිව් කරන් අපිට ඉස්සරහින් යන්න කිවුවා. එතකොට පාර වරදිනෙත් නෑ. අපිට නිදහසේ කතාකරන්නත් පුලුවන්'
'හ්ම්ම, ඒක හරි'
'මනා' යනුවෙන් මා ඇමතූ ඔලිවර් ටැබ් එකක් මා වෙත දිගුකලේය. 'මේක බලපන්, ඕකෙ සේරම විස්තර තියෙනවා. බෙරීගෙ ස්පීඩ් එකෙන්වත්, මගෙ ඊතලවලින්වත් ඕක නවත්වන්න අමාරුයි. අන්න ඒ නිසයි අපිට උඹේ උදව් ඕන වෙන්නෙ'
...........
Arrow හා Flash මාගේ මිතුරන් බවට දැනගත් විගස මාවෙත එල්ල වූ තර්ජන, ගර්ජන හේතුවෙන් මේ පිළිබදව ලිවීම තාවකාලිකව නවතාදමන අතර මින් පසුව සිදුවූ දේ Arrow සීසන් 04හි පස්වන කොටසින් නරඹන ලෙස ඉල්ලා සිටිමි.

පෙට්‍රල් බෝතලය


"ලොක්කො, පෙට්‍රල් බෝතලයක් ඇද ලගින් තියලා මොකද?" යනුවෙන් අම්මාගේ කටහඩ කාමරය දෙසින් ඇසුනි.
"මගේ බඩු තියෙන තැන්වල තියන්න අනේ. ඔය කාමරේ අදින්න එපා."
"යකාගෙ අම්බලම වගේ. හැමදාම හැඩිකරනවා........" අදී වශයෙන් අම්මාගේ දෝස්මුරය තවත් ඇසෙන්නට විය.
'අම්මා දන්නෙ නෑනෙ මට තියෙන ප්‍රශ්න. දවස් 2ක් නිදාගන්න ලැබුනෙ නෑ. හාට් ඇටෑක් හැදෙන්න ඔන්න මෙන්න තියලා බේරුනේ. අදනම් දෙකෙන් එකක් විසදගන්න ඕනෙ. හැමදාම ඌට දිනුම දෙන්න බෑ.' යනාදී වශයෙන් මෙකී නොකී සිතුවිලි රැසක් අම්මාට පිළිතුරු ලෙස මා සිතේ පහල විය.
සෙනසුරාදා රාත්‍රී Jurassic World බැලීමෙන් පසු දින දෙකක් මා හට නිදාගැනීමට ලැබුනේ නැත. දින දෙකේම අති දැවැන්ත දෙමුහුන් ටී රෙක්ස් ඩයිනෝසරයා මා සොයාගෙන පැමිණ මා ගිලදමනවා සිහින දහයක් පමණ දුටු අතර ඒ සිහින දහයෙම මා ඌගෙන් බේරීම සදහා විවිධ ක්‍රම අනුගමනය කළත් ඒ කිසිවක් ඵලක් නොවීය.
කොච්චර හයියෙන් දිවුවත්, මොනා අස්සෙ හැංගුනත් මූ මාව හොයාගෙනම එනවා. දවස් දෙකටම පැය 3කට වඩා මම නිදාගන්න නැතිව ඇති. නින්ද ගිහින් විනාඩි 10ක් 20ක් යද්දි මූ එනවා. මොන කරුමයක්ද මන්දා. මේකට මොකද කරන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට තමා මට පෙට්‍රල් ගැන මතක් උනේ. පෙට්‍රල් ටිකක් ඇගේ හලාගත්තම ඌට මගෙ ඉව හොයාගන්න බෑ. Film එකේ ඉන්න කොල්ලත් උගෙන් බේරුනේ පෙට්‍රල් ඇගට හලන්. ටී රෙක්ස්ලාට කොහෙද මේ මනාගෙ තරම් මොලයක්.
අද නිදාගන්න කලින් මගෙ ඇගට පෙට්‍රල් ටිකක් වක්කරන් නිදාගන්නවා. සනීපෙට නිදාගතහැකි. grin emoticon grin emoticon
ඩයිනෝසර්ලා භංගවේවා. 

මංගල්‍යය


පසුගිය මස 27වැනිදා මාහට සිදුවූ ඇබැද්දිය පට්ට චාටර් සිද්ධියක් නමුත් එය පහතින් වචන කරන්නට මා සිතුවේ, ඔබටද යම් දිනක එවැනි සිදුවීමකට මුහුණදීමට සිදුවිය හැකි බැවිනි.
එදින සෙනසුරාදා දිනයකි. හාෆ් ඩේ එකද නිවාඩු දමා හවස තිබූ ඉංග්‍රීසි පන්තියද කට් කර කුරුණෑගල වෙත මා ඇදුනේ කලින් ලද ආරාධනාවක් අනුවය. ඒ මා මිත්‍රයෙකුගේ විවාහ මංගල්‍යයකට සහභාගීවීමටය. දවල් 1ට පමණ ආරම්භවූ සාදය සවස 6 වන විටත් අවසන් නොවූ බැවින් මිතුරාට සුභපතා ඔහුට සමුදුන් මා පාරට බටෙමි.
සාදය පැවති හෝටලයේ සිට කුරුණෑගල නගරයට 2km පමණ දුරක් තිබූ හෙයින් පාරට ආ මම ත්‍රීරෝදරථයක් සොයන්නට පටන් ගතිමි. සැන්දෑ කලුවර උදාවී තිබූ බැවින් පාරේ ගමන් කල ත්‍රීරෝදරථ සියල්ලක්ම පාහේ මගීන් ගමන් කළ ඒවා විය. හයවෙනි ත්‍රීරෝදරථයට මම අතදමනා විට එය මාගේ ජීවිතය උඩුයටිකුරු කරාවි යැයි මා කිසිවිටකත් සිතුවේ නැත.
"මල්ලි කොහෙට යන්නද?"
"කුරුණෑගල ටවුන් එකට අයියෙ."
"හරි මල්ලි නගින්න." යනුවෙන් ත්‍රීරෝදරථ රියදුරු කී පමාවෙන් මා එයට ගොඩවුයේ එහි පසුපස තවත් පුද්ගලයෙකු සිටිනා බව දැකදැකය.
පසුපස සිටි පුද්ගලයාට වයස අවුරුදු 30ක 40ක පමණ පෙනුමක් තිබූ අතර ඔහු මා හා දොඩමලුවූයේ කලක පටන් හදුනන මිතුරෙකු දුටුවාක් මෙනි.
"මල්ලි මෙහෙ නෙමෙයිද?"
"මම කොළඹ අයියෙ."
"මල්ලි දැන් කොළඹද යන්නෙ?"
"ඔව් කුරුණෑගල ටවුන් එකෙන් බස් එකක් ගන්නවා."
"අපිත් කොළඹ මල්ලි යන්නෙ. කැමතිනම් අපිත් එක්ක යන්න පුලුවන්. සල්ලි ඕනෙ නෑ. අනික මේ වෙලාවෙ බස්වල සෙනග. මම හිතන්නෙ නෑ සීට් එකක් හමබවෙයි කියලා."
"හ්ම්ම්ම්ම්ම්. බස් එකක් තිබ්බොත් මම ඒකෙ යන්නම්. නැත්නම් බලමුකො අයියෙ."
"හරි හරි මල්ලි." කියූ ඔහු තවත් මොනවාදෝ කන්කරච්චලයක් සේ කියවන්නට පටන් ගත්තේ 'බස් එකේ යන එක හොදයි වගේ' යන සිතුවිල්ල මා සිතේ ජනිත කරමින්ය. නමුත් මාගේ සෙනසුරු නීචවී, රාහු මහදසාව ලබා ඇතිබවක් පෙන්වමින් බස් ස්ටෑන්ඩ් එකේ තිබූ එකම කොළඹ බසයද අනුරාධපුරයේ සිට පැමිණි එකක් වූ අතර එහි 20ක් 30ක් හිටගෙනද ඉන්නා ආකාරයක් පෙනුණි.
"ඔන්න ඔහේ මේකෙම යන් මල්ලි." කියූ ත්‍රීරෝදරථයේ රියදුරු මාගේ පිළිතුරක් ලැබෙන්නටත් පෙරතුව රථය පාරට දමා ධාවනය කරන්නට විය. ඉන්පසුව ගෙවුනු පැයබාගය නිහඩව ගෙවීගියේ රාත්‍රී 7ත් පසුකරමිනි.
"ඩ්‍රයිවර් මල්ලි ඉස්සරහින් පොඩ්ඩක් නවත්තනවද මොනා හරි බොන්න ගන්න." යන වදනත් සමගින් රථය බාර් එකක් අසල අදුරු පෙදෙසක නවත්වන ලදී.
"මල්ලි ඔයා බියර් බොනවද?"
"අනේ එපා අයියෙ. මම මුකුත් බොන්නෙ නෑ" කියූ මා ඔහුට බිමට බැසීමට ඉඩලබාදෙන ලදී. විනාඩි 2කට පමණ පසු බියර් ටින් එකක් හා ස්ප්‍රයිට් බොතලයක් රැගෙන ආ ඔහු ස්ප්‍රයිට් බෝතලය මාවෙත දිගුකලේය. මා එයින් රස බැලුවේ උගුරු දෙකක් හෝ තුනක් පමණි. මට මතක එපමණය.
සිහිය එනවිට මා සිටියේ බිම වැතිරගෙනය. වටේම රූස්ස ගස් පෙනුනු නමුත් ඉදහිට වාහන ගමන් කරන හඩ සිහිනෙන් මෙන් ඇසුනි. සාක්කුවට අතදමා ෆොන් එක සෙවූ මෙමට ඒ වෙනුවට කලිසම් සාක්කුවේ තිබී අයිඩින්ටිය හා ලයිසන් එක හමුවිය. පොතේ හැටියට ඒවා තිබිය යුත්තේ මාගේ පර්ස් එක තුලය.
නැගිටීමට දැරු සියලු උත්සහයන් අසාර්ථක වූ තැන වටේටම ඔලුව හරවා වාහන එළිය පෙනෙනා දෙස සොයාගෙන ඒ දෙසට සෙමින් සෙමින් බඩගාන්නට විය.
පසුව සොයාගත්පරිදි ඒ වනවිට වේලාව, පාන්දර 5ට ආසන්න වේලාවක් විය යුතුය. සිහිමදගතියෙන් හා වැදගත් ලෙස හැද පැළද සිටි මා දුටු අයෙකු මා හා කතාබහකර, පොලීසියට ඒ පිළිබදව දැන්වීමෙන් අනතුරුව පොලීසියෙන් පැමිණ මා රෝහලට රැගෙන ගිය අයුරුද සිහිනයකින් මෙන් මාහට මතකය. ඒ අතරතුර යම් අයෙකුට මාගේ නිවසේ දුරකථන අංකය ලබාදුන් බවද මතකයේ ඇත. පසුව නැවතත් සිහිය එනවිට මා රෝහලේ ඇදක් මත විය.
ලත්තන සුදු මිසී කෙනෙකු පැමිණ මාගේ විස්තර සටහන් කරගන්නා විට අම්මා, තාත්තා, මල්ලී, පුංචී, ලොකුඅම්මා, මහප්පා ආදී පවුලේ 6ක් 7ක්ම කොහෙදෝ සිට එතනට කඩාපාත්විය.
පසුව දිනදෙකක් රෝහලේ ගතකල මා අගහරුවාදා උදෑසන නිවසට පැමිණියේ දරාගත නොහැකි කේන්තියකින් හිත පුරවාගෙනය.
වෙඩින් එකට යන්නට පෙර අම්මාගෙන් ඉල්ලාගත් රත්තරන් මාලයද, මාමාගෙන් ඉල්ලාගත් පවුම් දෙකක් පමණ වටිනා බේස්ලට් එකද අතුරුදහන්ව ගොසිනි. අතේ තිබූ ටච් ෆෝන් එක මෙන්ම රුපියල් 3000ක් පමණ තිබූ පර්ස් එකද නොමැත.
රොහලේ සිටියදී පොලීසියෙන් පැමිණ කටඋත්තරයක් ලබාගත් නමුත් නැතිවූ කිසිවක් නැවත ලැබේවියැයි විශ්වාස කළ නොහැක.
ඊයේ මවෙත මිතුරෙකු ලබාදුන් දුරකථනයක් මගින් නැවතත් බුකීගතවීටම අවස්ථාව ලදෙමි. කෙලවීමෙත් උපරිමයෙන් මට කෙලවී ඇත.
සල්ලිනම් කවදා හෝ හම්බකල හැක. නමුත් උහුලන්නට නොහැක්කේ ඒ සිද්ධිය නිසා ඇසෙනා ගමේ කොල්ලන්ගේ කයිකතන්දරය. ඒවා අසනවිට පොළවපලන් යන්නට සිත්ය.

අල්ලපුගෙදර


"මනා, මට හදිසි පාටියක් බන්. අක්කයි අම්මයි ගියා බෝධිපූජාවක් තියන්න කැලණියට. එයාලා එද්දි හත හතාමාර වෙයි. හොද එකා වගේ හය වෙද්දි මල් දෙකතුනක් කඩලා පහන තියලා සාලෙයි එළියෙයි ලයිට් ටික දාලා තියපන්කො. නැත්නම් ගෑණි ඇවිත් මගෙ ඔලුව කයි බන්" කියමින් මා වෙත යතුරු කැරැල්ලක් විසික් කල රුවන් අයියා බයික් එකේ නැගී පිටත්විය.
.......
මොන රෙද්දක්ද මන්දා. මුන්ටත් මාවමයි පේන්නෙ. ඒත් ඉතින් මොනා කරන්නද. අල්ලපුගෙදර එකානෙ. ඌට බෑ කියන්නත් බෑනෙ. 
"අම්මේ, මට හයට විතර මතක් කරන්න රුවන් අයියලගෙ ගෙදර ලයිට් ටික දාලා එන්න." යනුවෙන් අම්මා අමතා එලාම් එක ඔන් කල මා ලැප් එක දාගෙන ගේම් ගසන්නට පටන් ගතිමි.
පැයකට පමණ පසු අම්මා දෙතුන් වතාවක්ම කෑගැසීමෙන් අනතුරුව මා ගේම් එක නවතා රුවනයාට ලුනුඇඹුල් ඇතිව හිතින් බණිමින් එළියට බැස්සෙමි. 'නිදහසේ ගේම් එකක්වත් ගහන්න නෑ. මුන් රවුම් ගහන්න අපි කටු කන්න. හිටපන්කො අද ඕකාගෙ ෆිජ් එක හිස් කරනවා...........' යනාදී නොයෙක් සිතුම් රාශියක් මා සිත පුරවාගෙන රුවන් අයියාගේ ගෙදරට ඇතුලුවුනෙමි.
.........
පුංචි වට්ටිය පිරෙන්නට මල් කඩා පැන් ඉස, පහන පත්තුකර හදුන්කූරු දෙකක්ද දල්වා වැලි පිරවූ යෝගට් කෝප්පයේ ගැසූ මා ගෙයි ඉදිරිපස හා සාලයේ ලයිට් දෙක ඔන් කරන ලදී.
දැන් තමා මගේ වාරෙ. තරු සේ දිදුලන දෑසින් යුක්තව කුස්සිය දෙසට මා පියමැන්නේය. කුස්සියට ගොස් ෆිජ් එක දෙසට ලංවනවිටම මට ඒ හඩ ඇසුනි. එවිට පපුවේ හදගැස්ම හැත්තෑවේ සිට දෙසීය දක්වා ක්ෂණිකව වැඩිවූ අතර පපුව පැලී හදවත එළියට පනීවිදෝ යැයි මට සිතුනි. ඇගේ සියලු රෝමකූපයන් ස්මයිල් වී ඇගපුරාම විදුලියක් කොටන්නාක් මෙන් දැනී ගියේය. ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට නොහැකිව ගල් උන අතර කාලය නතර උනාදෝ යැයි හැගුන තත්පර 5ක් කල්පයක් සේ සෙමින් ගෙවී ගියේ මා සිත දහසක් අදහස් පහල කරමින්ය.
.........
මීට මාස දෙකකට පමණ පෙර රුවන් අයියාගේ ආච්චි මියගියේ මේ නිවසේ ජීවත්ව සිටියදීය. ඒ දිනවල අප රුවන් අයියගේ බිරිද වූ ශ්‍යාමලී අක්කාව නිතර නිතර බය කලේ ආච්චි ගෙදර අතහැර නොයන බව කියමින්ය. එය සැබෑවක් කරමින් පළමු සති දෙක ඇතුලත අක්කාට නොයෙක් ශබ්දයන් ඇසී තිබුණි. මට මේ මොහොතේ ඇසුන බාත්රූම් එකේ කොමඩ් එක ෆ්‍රෙශ් කර වතුර ගලායන හඩද මීට පෙර ශ්‍යාමලී අක්කා නිවසේ තනිව සිටි වෙලාවක ඇසී තිබුන අතර, එය දවල් වරුවක ඇසුන බැවින් ඇයට එතරම් ගානක් නොමැතිව කවුරුන් හෝ ආවාදැයි බාත්රූම් එකට ගොස් සොයාබලා ඇත. එය හිස් බව දැනගත් විගස ඈ නිවසින් එළියට බැස අප මව සොයාගෙන පැමිණ තිබූනි.
..........
කල්පයක් තරම් සෙමින් ගලාගිය තත්පර 5 අවසානයේ වතුර ගලාගිය හඩනතර විය. ඉන් පසුව ඇසුනේ සෙමින් කහින හඩකි. කිසිදු සැකයක් නැත. ඒ හඩේ හිමිකාරිය ආච්චීමය. තවත් කිසිවක් ඇසෙන්නට මත්තෙන් "අම්මේ........" යනුවෙන් මරහඩ තලමින් මා එළියට පැන්නෙමි.

අත්තම්මා


'මචං, අපෙ අත්තම්මා නැතිවුනා. බොඩි එක තියෙන්නෙ අපේ ගෙදර නෙමෙයි. අපේ අම්මලගෙ මහ ගෙදර ඒක තියෙන්නෙ. උඹ එනවනම් මට කෝල් එකක් දීපන්' යනුවෙන් සචියාගෙන් ලැබුනු මැසේජ් එකෙන් කියවුනි.
එදින හවස වැඩ අවසන්වී ගෙදර යන අතරතුර මළගෙදරටද ගොඩවී යාමට මට සිතුනි. බයික් එක කැලණියෙන් ගල්බොරැල්ල දෙසට හරවා යන අතරතුර එකදිගට සචියාට කෝල්ස් 5ක් පමණ ගත් නමුත් උගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.
'උගෙ ගෙදර කවුරු හරි ඇතිනෙ. ගෙදරට ගිහින් අහගන්නවා. ගෙදර උන් සේරම මළගෙදර වෙන්න බෑ. තාම 7ටත් නෑනෙ. සමහරවිට උගෙ නංගිත් ගෙදර ඇති' සිතූ මා සචියාගේ නිවසට ඇදුනෙමි.
බයික් එක පාර අසලින් නවතා "සචියෝ, සචියෝ" යනුවෙන් දෙතුම් වරක්ම කෑගැසූ නමුත් ගෙතුලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැත. නමුත් සාලේ හා කාමරවල ලයිට් දමා ඇති බැවින් ගේට්ටුව ඇරගෙන දොර වෙතට ගොස් දොරට තට්ටු කලෙමි.
"පුතේ ඔය ගෙදර කවුරුත් නෑ. චූටිගෙ අත්තම්මා අන්ත්‍රාවෙලා එයාලා මළගෙදර ගිහින්" යනුවෙන් අල්ලපු නිවසේ පිළිකන්නේ සිටි ආච්චිඅම්මා කෙනෙකු මට පැවසීය.
"ආච්චි මළගෙදර කොහෙද තියෙන්නෙ කියලා මට කියන්න පුලුවන්ද"
"ඉස්සරහ හන්දියෙන් දකුණට තියෙන පාරෙ හැතැම්ම කාලක් විතර යද්දි තුන්මන් හන්දියක් හම්බවෙයි. එතනින් වම් පැත්තට යොදුන් සීයක් විතර යද්දි පාර අයිනෙ කොඩි දාල තියෙනවා පේනවා.අන්න එතන."
"බොහොම ස්තූතියි ආච්චි, මම ගිහින් එන්නම්" පැවසූ මා ඒ පාර දිගේ පැමිණ හරි තැන සොයාගතිමි.
මිදුලට වී හට් එකක් හයිකරමින් සිටි සචියා මා දැක එය නවතා මා වෙත පැමිණියේ 'ආ උඹ ආවද' කියමිනි.
'ආවා තමා යකෝ. ගනින් කන්න බොන්න තියෙන ඒවා. තොගෙ අල්ලපු ගෙදර ආච්චි පාර කිවුව නිසා හොදා.තොට මම කෝල්ස් කීයක් ගත්තද #&$(3). තොට ඒ එකක්වත් උස්සන්න බැරි තරම් වැඩද?'
'ෆෝන් එක චාජ් වෙන්න ගහලා බන්. ඒකයි මම උඹෙ කෝල්ස් දැක්කෙ නැත්තෙ. අනික අපේ අල්ලපු ගෙදර ඇති ආච්චියෙක් නෑ බොල. එහෙ ඉන්නෙ අලුත බැදපු ජෝඩුවක්.'
'අනේ පල ඩා යන්න. එතකොට උඹෙ ආච්චිගෙ හොල්මනද අල්ලපු ගෙදර පිළිකන්නෙ ඉදන් හැරමිටිය ගගහා ඇවිත් චූටිගෙ අත්තම්මා අන්ත්‍රාවෙලා කියලා මට කිවුවෙ. මම කොණ්ඩෙ බැන්දට චීනෙක් නෙමෙයි යකෝ. හිතේ ඇති මාව බය කරන්න' යනුවෙන් මා පැවසූ දෑ ඇසූ සචීගේ ඇස් එකවරම ලොකු වූ අතර ඔහුගේ මූණ පුරාම විමතියට පත්වූ ලකුණු දක්නට විය.
'පොඩ්ඩක් වරෙන් මාත් ඇතුලට යන්න. මේක සිරාවටම කියන්නෙ. අම්මපා. අපේ ආච්චි විතරයි මට චූටි කියලා කතාකලේ. අනික අපේ ආච්චිත් හැරමිටිය ගගහ තමා ඇවිද්දෙ. පොඩ්ඩක් ඇතුලට ඇවිත් බලපන්කො මනා' යනුවෙන් සචී පැවසූ වදන් ඇසූ මා හදගැස්ම වේගවත් වූ අතර කකුල් දෙක වෙවුලන්නට විය. මා ඕනකමින් නොව සිහිනෙන් ඇවිද්දාක් මෙන් මිනිය තැන්පත්කර තිබූ සාලය වෙතට සචී පසුපසින් යන ලදී.
මිනිය දෙස බැලූ එකම බැල්මෙන් සිදුවූ සියල්ල මා හට වැටහුන අතර හදගැස්ම ඩබල් ත්‍රිබල් වී මුලු ගතම දහඩියෙන් වෙලාගන්නා විට අසල තිබූ පුටුවක මා වාඩිවූයේ "ඇයි මටම මෙහෙම වෙන්නේ" යන ප්‍රශ්නය මාගෙන්ම අසමිනි.

තැඹිලි, තැඹිලී


ටීන් ටීන්. මැසේජ් එකක් පැමිණි හඩත් සමග මා දුරකථනය අතට ගත්තෙමි.
You have new txt msg from 'මගෙ පණ 3'. 'මොන රෙද්දක්ද මන්දා. දැන් ඉතින් එක දිගට මැසේජ් දාපන්කො. ගේම් ගහන්නත් නෑ රෙද්ද.' යනුවෙන් හිතෙන් බණිමින් මා මැසේජ් එක ඕපන් කලෙමි.
'බබා. හෙට මට ක්ලාස් නිවාඩු.'
ඉතින් යෝදියෙ මට පාන්ද කියා අසන්නට සිතුනු නමුත් එසේ අසා පසුව ඇතිවන ප්‍රතිවිපාක ගැන සිතීමෙන් අනතුරුව මා ආදරණීය පිළිතුරක් ටයිප් කලෙමි.
'ආ හරි ශෝක්. චූටි බබාට හෙට හොදට නිදාගන්න පුලුවන්නෙ'. යන මැසේජ් එක මා සෙන්ඩ් කල සැනින් තවත් මැසේජ් එකක් පැමිණි හඩ ඇසුනි.
'බබා, අම්මා දන්නෙ නෑ හෙට ක්ලාස් නෑ කියලා'.
අප්පට සිරි. දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනවා කියන්නෙ මේකට තමා. ගේම් වගේද කෙල්ල. ලැප් එකේ Power බොත්තම ඔබා එය වසා දැමූ මා කෙල්ලත් සමග මැසේජ් කොටන්නට පටන් ගතිමි.
අවසානයේ හෙට දින මා සමග රවුමක් ගැසීමට ඇය කැමතිවූයේ මාගේ බලවත් ඇවිටිල්ල නිසා බව ඈ මට හගවන ලදී.
අතේ සතේ නැත. කෝල් දෙකක් තුනක් හතර වටේට ගත් නමුත් උන්ද නන්නත්තාර වී තිබුනි. බැදගත් බෙරේ කෙසේ හෝ ගසන්නට වන බැවින් පසුදා උදෑසනම ඇයත් සමග ප්‍රීතිපුර බීච් එක දෙසට බයික් එක පැදගියේ බයික් එකේ තිබූ පෙට්‍රල් ටිකට පිංසිදුවන්නටය. වෙරළේ ඇති කඩොලාන සෙවනකට වී පෙම්බස් දොඩමින් සිටිනාවිට කාලය ගතවනවා නොදැනුනි.
'තැඹිලි, තැඹිලී//' යනුවෙන් හඩ නගමින් පිහියක් ගත් එකෙකු හා තැඹිලිවල්ලක් කරතබාගත් එකෙකු අප අසලට පැමිණ 'මල්ලි රස තැඹිලි ගෙඩියක් බොමුද' යනුවෙන් පද්දා ඇසුවේ අපවෙත අමුතුම බැල්මක් හෙලමිනි.
'එපා මචං, තැඹිලි බොන්න බෑ' යනුවෙන් මා පිළිතුරු දුන්නේ සාක්කුවේ ඇති රුපියල් 150ටද කෙලකරගැනීමට නොහැකි නිසාය.
'එහෙම කරන්න එපා මල්ලි, අපි ගෙඩි දහයක් ගන්න කිවුවෙ නෑනෙ. ගෙඩි දෙකක් අරන් බීපන්'
'එපා මචං. මේ වෙලාවෙ තැඹිලි බොන්න බෑ' යනුවෙන් මා නැවතත් පිළිතුරු දුනි.
'මල්ලි උඹලා මෙතන ඉදන් තැඹිලි බොන්න බැරිනම් කාපන්, හැබැයි අපෙනුත් තැඹිලිගෙඩි 2ක් අරන්. එහෙම නැත්නම් මෙතනින් නැගිටලා පලයන් යන්න' යනුවෙන් පවසමින් කරේ තිබූ තැඹිලිවල්ල බිම තබා අපදෙදෙනා වෙත මරුමුස් බැල්මක් හෙලන ලදී.
ක්ෂණිකව නැගීසිටි මා අඩි දෙකක් ඉදිරියට පැන පිහිය අතැති එකාගේ අත අඹරා පිහිය උදුරාගෙන ඌගේ බඩට පහරක් කළ අතර අනිත් එකාගේ හක්කට පහරක් එල්ල කලපසු ඔවුන් බිම ඇදවැටෙනා හැටිත් කෙල්ල ඉදිරිපිට මා වීරයෙකු වෙන ආකාරයත් මාහට මැවී පෙනුනි.
"මනා, මෙන්න චාන්ස් එක. වීරයෙක් වෙනවනම් හිතෙන් ගගහා ඉන්නෙ නැතිව ගහපන් ඕකුන්ට" කියා මා හදවත මට බලකරනා ලදී.
"හරි අයියා, තැඹිලි ගෙඩියක් කීයද? දෙකක් කපන්නකො." යනුවෙන් මා මුවින් ගොතගසමින් පිටවිය.
'එකක් 250යි. 500ක් දීපන්කො' කියමින් ඔහු තැඹිලි ගෙඩියක් කපන්නට විය.
හුටා. මගෙ සන්තකේටම තියෙනෙ 150යි. දැන් මොකද කරන්නෙ. කෙල්ලගෙ පිහිට පතන්න තමා වෙන්නෙ. මේ කුඩ්ඩො එක්ක තැඹිලිගෙඩියකට රණ්ඩුවෙලා ගුටිකන්න ඕනෙ නෑ.
'බබා ඔයාගෙ අතේ තියෙනවනම් 350ක් දෙනවද?' යනුවෙන් මා ඇගේ කනට කර රහසින් පැවසුවෙමි. බලෙන් පිප්පූ පොහොට්ටුවක් සේ ඇති මුහුණින් මා දෙස බැලූ ඈ බෑග් එකට අතදමා රුපියල් 500යේ කොලයක් මා අතතැබුවේ මා වෙත ඔරවමින්ය.
තැඹිලි ගෙඩි දෙක කපා දී මුදල් ගත් ඔවුන් නැවතත් තැඹිලිවල්ල කරතබාගෙන 'අපි එහෙනම් ගිහින් එන්නම්, මල්ලි හොදට තැඹිලි බොන්නකො. ලොදටිකකුත් කන්න.' කියමින් නොපෙනී යනතුරුම මා බලාසිටියේ හිතේ බය තරමක් හෝ මකාගැනීමේ අදිටනිනි.
පසුව මාවෙත ඔරවමින් සිටි කෙල්ල වෙතට හැරුන මා 'උන් කුඩ්ඩො බබා' යනුවෙන් පැවසුවා පමණි.
"මොනවද මනුස්සයො කරන්නෙ, එක එකාට බයේ ඔහොම සල්ලි දන්දුන්නම හරිද? මට හිතුනා උන්ට කුඩේ කැඩෙනකන් ගහන්න. තමුසෙත් පිරිමියෙක්ද ඕයි?"යනුවෙන් ඈ විමසන විට මාහට පොළව පලාගෙන යාමට සිත්විය.

මතක


ඔබ යන්න ගිහින් මට දැනුනා, කල්පයක් වගේ....
ඔබේ මතක හද කලතයි, රුධිරයක් වගේ.....
ලගින් උන්නු කාලෙදි මට, නොදැනුනත් අගේ.....
ඔබේ සුවද මග පෙන්වයි, ඉරබට තරු වගේ.....

වෙසක්


මීට වසර 9කට පෙර සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
එකල මා 10 වසරේය.
ගුරුගෙදර පන්තියේ වෙසක් කූඩු තරගයක් පැවැත්වීමට තීරණය කර තිබූ බැවින් එදින පන්තියට ගොස් කූඩු හදන්නට පටන් ගත්තෙමි. කෙමින් කෙමෙන් දවල් කෑම වෙලාව පසුවී බඩේ පණුවන් කෑගසන්නට වනවිට 'සුදමයා' සමග හොර රහසේ එතනින් මාරුවී උගේ ගෙදරට ගොස් බත් පිගානකට වගකියුවෙමි.
සුදම් - 'අරුන්ටත් මොනා හරි අරන් යන්න තිබ්බානම් මරු බන්.'
මම - 'උඹේ අතේ කීයක් තියෙනවද? මන් ළග 150ක් විතර ඇති. සල්ලි දාලා බිස්කට් එකක් අරන් යන්ද?'
සුදම් - 'මගෙ අතේ 200ක් විතර තියෙනවා. වරෙන්කො කිරිබත්ගොඩට යන්න. අපි චොකලට් ටිකක් ගමු' කියූ සුදම් බයිසිකලයට නැග කිරිබත්ගොඩ දෙසට පාගන්නට විය.
අනිත් බයිසිකලට නැගි මාද ඔහු පසුපස හතිදමමින් කිරිබත්ගොඩට පාගන්නට වූයේ ජීවිතයම උඩුයටිකුරු කල සිදුවීමක් වෙතැයි නොදැනය.
කිරිබත්ගොඩ ලාෆ්ස් ෆුඩ් සිටියට රිංගාගත් අප චොකලට් තියෙන රාක්කයවෙත පිය නැගුවෙමු. ඒවායින් එකක් දෙකක් සුදමයාගේ ටී ෂර්ට් එක එසවී බඩත් කලිසමත් අතරට රිංගුවේ අසුරු සැනිනි. තවත් චොකලට් තුනක් මා අතේ තැබූ ඌ මටද ඉගි කලේ එයම කරනා ලෙසයි. හිතන්නට කාලයක් නොවූ බැවින් මාද ඔහුව අනුගමනය කලේ බෑ කියන්නට බැරි කමටය. අනතුරුව රුපියල් 120ක චොකලට් එකක් අතට ගත් අප කැශියර් එක වෙත පැමිණ එයට මුදල් ගෙවා එතනින් ඉදිරියට අඩියක් තැබුවා පමණි.
'පුතාලා පොඩ්ඩක් ඔහොම ඉන්නවද' යන හඩක් අප පසුපසින් ඇසුනි.
එය කිවුවේ කවුරුන්දැයි බලන්නට අප හැරෙනා විට සිකියුරිටි ඇදුමින් සිටි අයෙකු පැමිණ අප බඩ, ඉන, සාක්කු පමණක් නොව මුළු ශරීරයම අතගා චොකලට් 8ක් එළියට ගත්තේ අපව අඩන්නට ඔන්න මෙන්න කරවමිනි.
මැනේජර් යැයි කිව හැකි ටයි එකක් දාගත් කලු මහත අයෙකු ඒ චොකලට් බිල දමන්නට අණ කලේ අපව තවත් රතුකරමිනි. බිල රුපියල් 975කි. දෙදෙනාගේම සාක්කු හිස්කල නමුත් රුපියල් 286කට වඩා අප සතු නොවීය.
සුදම් - 'සර්, අපි ළග සල්ලි තියෙන්නෙ මෙච්චරයි සර්...... සර්, කෝල් එකක් ගන්න දෙනවද සර්........ සර්, අපි ඉතුරු සල්ලි ටික ගෙනත් දෙන්නම් සර්......'
මැනේජර් - 'කෝල්? , පොඩි කාලෙදිම හොරකම් කරන්න පුරුදුවෙලා දැන් එනවා ලොකුකමුත් කියෝගෙන. ගලෝපිය දෙන්නගෙම ටී ෂර්ට් දෙක.ගලොපන් දැන්ම.' යන අණ කිරීමත් සමග ටී ෂර්ට් දෙක ගලවා ඔහුට දුන්නේ දැන්වත් යන්න කියයි යන සිතුවිල්ල හිතේ තියාගෙනය. නමුත් එතනින් ඌ නැවතුනේ නැත.
මැනේජර් - 'වරෙන් මාත් එක්ක' කියා ෆුඩ් සිටියේ පසුපස දොරටුවක් තුලින් අප රැගෙන ගියේ ගබඩාවක් වෙතය.
මැනේජර් - 'මේ පිටි ගෝනි ටික අර කෙලවරට ඇදපන්. අර තියෙන සීනි ගෝනි ටික මෙතනට දාපන්' යැයි නැවතත් අණ කළේය.
කරන්නට දෙයක් නැත. උගෙ පදෙට නටන්නට අපට සිදුවේ. දාඩිය දමමන්, පිටිවලින් නැහැවෙමින් විනාඩි 45කට පමණ පසු අප එය අවසන් කලෙමු. අනතුරුව තවත් දොරක් විවරකෙරූ මැනේජර් 'දැන් ඔහොම ගෙදර පලයන්' යැයි කියා ඒ දොරෙන් අපිව එළියට දැමුවේ අපව තවත් අන්ත අසරණ කරමිනි.
ඇග පුරාම තිබූ දහඩියට පිටි ඇගට ඇලවී ගොසිනි. අත්වලද පිටි බැවින් ඒවා පිහිදාගනට ක්‍රමයක් නොවීය. අවසානයේ දෙවියන් මෙන් අපට පිහිට වූයේ එතැන සිටි සිකියුරිටි අයියා කෙනෙකි. අපගේ විස්තරය අසා "මාත් කොල්ලෙක්නෙ බන්. පොඩ්ඩක් හිටපන් මගෙ බෝඩිම මේ ළග තියෙන්නෙ. ටීෂර්ට් දෙකක් මම උඹලට දෙන්නම්.හැබැයි ඒ දෙක ආයිත් මට ගෙනත් දීපන්." යැයි පවසා අපට ටීෂර්ට් දෙකක් ගෙනත් දුන්නේ අපගේ පූරුවේ පිනකට මෙනි. එදා සිට අදවනතෙක්ම මා සුදමයා සමග මොන දීපන්කරේක ගියද, ෆුට් සිටියකට නම් යන්නේම නැත.

තනි අලියා


පසුගිය සතියේ අප නෑදෑයෙකුගේ හදිසි අභාවයක් හේතුවෙන් මහියංගනයේ සිට 28km දුරින් පිහිටි ගමකට පියනැගුවෙමි. එහි රාත්‍රී කිසිවෙකු තනිව ගමන් යන්නේ නැත. හතර වටේටම කැලවල් හා කුඹුරුය. නිතරම අලි වගාපාලුකිරීම් සිදුකරන අතර ඉදහිට ගම්වැදීම්ද සිදුවන බව මා හට අසන්නට ලැබුනි.
අනේ මම ඉන්න දවස් ටිකේ අලියෙක් වරෙන්කෝ, වරෙන්කෝ කියා හිත ඇතුලෙන් උදේ දිවා රෑ පුරා පැතූ නමුත් ආ අලියෙකු තියා ඇසුනු අලි වෙඩිල්ලක්වත් නැත. මේ වගේ කැලේකට ඇවිත් අලියෙක්වත් දකින්නෙ නැතිව යන එක මගෙම කරුමෙ කියා මට සිතුනු වාර අනන්තය.
අවසානයේ දවස් 6ක් ගෙවීගොස් බණදින පන්සලේ හාමුදුරුවන් බණට වඩම්මවාගෙන ඒමට මෝටර් බයිසිකලයක අයියා කෙනෙකු පන්සලට ගියේ එම ප්‍රදේශවල හාමුදුරුවරුන් මෝටර්බයිසිකල්වල ගමන් බිමන් යන බැවිනි. බණ සදහා හාමුදුරුවන් වහන්සේ වඩම්මවාගෙන පැමිණ බණ අවසන් වනවිට රාත්‍රී 8.30 පසුවිය.
"මල්ලි පන්සලට යන්න මාත් එක්ක තව බයික් එකක් එවනවද. මේ වෙලාවෙ තනියම යන්න බෑ." යනුවෙන් අර අයියා පවසන විට මගේ ඉහේ මලක් නොව මල් හතක්ම පිපුනි.
"හරි අයියෙ යන්. මම එන්නම්" කියූ මා පාරට පැන දවස් 6 පුරා බුලත්විට, බිස්කට්, ප්ලේන් ටී පගාව දී සෙට් කරගත් එකෙක්ගෙක් බයික් එකක යතුරක් ඉල්ලාගත්තේ අනේ අලියෙක් අදවත් වර යන සිතුවිල්ල හිතේ පුරවගෙනය.
හාමුදුරුවන් පෙරටුකොටගත් බයික් එක ඉදිරියෙන්ද මා පසුපසින්ද වල ගොඩැලි මතින් හිමින් හිමින් ඉදිරියටම ගමන් කලේ පාරවල් වල ඇති සැපපහසුව නිසාය. පන්සලට හාමුදුරුවන් වහන්සේ වඩම්මවා නැවතත් ඒමට අප පිටත් විය. ටික දුරක් එනවිට එකවරම ඉදිරියෙන් ගිය බයික් එක පාරෙන් පිටට පැන වෙල දෙසට හරවා නතරවිය. මා ද බයික් එක නතරකරගත්තේ මේ යකා මොන මගුලක් කරනවාද යන්න සිතමිනි.
"මල්ලි පාරට ලයිට් එක ගහපන්. අලි ඇවිත්. අර ඈතින් ටෝච් ගහනවා නිමනවා පේනවා නේද. ඒ අලියට."
"අඩේ පට්ට. ඇඩෙනවා. අලියව දකින්න ලැබුනනම් පට්ටම පට්ට" යනුවෙන් මා සිතින් මටම කියාගතිමි.
වෙල දෙසට බයික් එකේ ලයිට් එක ගසා හතර වටේටම හැඩල් එක කරකවන්නට වූයේ අලි සිටිනවානම් පෙනෙනා බැවිනි. නමුත් බයික් එකේ එළියද වෙලෙන් කාලක දුරටවත් විහිදුනේ නැත. ඒ තරම් විශාල වෙල් යායකි. බයික් එක රේස් කර තව ටිකක් ඉස්සරහටගෙන වෙලේ පාර අසල තිබෙන අනිත් කොනට හරවා නැවතත් හැඩල් එක කරකවන්නට වූයේ අපි යන පැත්ත එය බැවිනි. එක තැනකදී හැඩල් 1ට කැරකවීම නතරකර බයික් එක පාරට ගත්තේ බයික් එකේ ලයිට් එක ගසාගත් තැන වෙනස් නොකරගෙනමය.
-"මල්ලි බයික් එකේ සිග්නල් ලයිට් එක දාගනින්. මොනා උනත් බය වෙන්න එපා. මාත් එක්කම මගෙ පස්සෙන් වරෙන්. බයික් පදින්න පුලුවන්නෙ හොදට... බය වෙන්න එපා. තනි අලියා ඉන්නෙ. මම බයික් එක දාලා කැලෑ පැන්නොත් විතරක් මම පනින තැනදි පැනපන් මගෙ පස්සෙන් වරෙන්. වෙන කිසිම තැනකදි බයික් එකෙන් පනින්නනම් එපා.මගෙ ලගින්ම වරෙන්."
දැන් දැන් නම් මගේ පපුවේ ගගක් මෙන් දාඩිය බිදු මතුවේ. සමහරවිට ඒ වෙලේ තිබූ රස්නය එයට හේතු විය හැක. අතේ ඇගිලි හා කකුල් දෙක වෙවුලන්නට පටන් ගෙන තිබුනේ හරි හමන් කෑමක් නොමැතිව මලගෙදර නිදිමැරූ නිසා විය හැකිය. හිත ඇතුලෙන් ඉතිපිසෝ ගාථාව ඉබේම කියවෙන්නට පටන් ගත්තේ බණ අසා හිත තුල තිබු ශ්‍රද්ධාව නිසා විය හැකිය.
ඒ අතරතුර එකවරම අතේ වෙවුලීම නිසා බයික් එක එක වරම නතර වූයේ මාව සිහිනැතිකරවීමට ආසන්න කරවමිනි. නිවුටල් එක උඩටදෝ යටටදෝ කියා මා හට අමතක වී තත්පර 10ක් පමණ දගලා බයික් එක ස්ටාට් කරගන්නා විටත් අර අයියා "ඕක ඔතන දාලා නැගපිය මේකට" කියා මා හට දෙවරක්ම කියා අවසන්‍ ය.
අනතුරුව පටන් ගත්තේ වලවල් උඩින් පියඹමින් 60ට 70ට 80ට ගිය කිලෝමීටරයක පමණ ගමනකි. පාරත් සමග තිබූ වෙල අවසන් වී අතුරු පාරට හරවා ටික දුරක් ගොස් "දැන් අවුලක් නෑ මල්ලි හිමින් යන්" යන වදන් ටික මා හට හැදෙන්නට තිබූ හාට් ඇටෑක් එක නැවතීමට සමත් වූ බවක් මා හට හැගිනි. තවත් විනාඩි 2කින් පමණ බණ ගෙදරට පැමිණ බයික් එකේ ස්ටෑන්ට් එක ගසා මම බිම වාඩි වූවා මතකය. නැවතත් මා හට සිහිය එන විට කොල්ලන් හත් අට දෙනෙකු වටවී මගේ මූණට වතුර ගසමින් සිටි අතර මා සිටියේ බංකුවක් මතය. කෙමෙන් කෙමෙන් දෑස් දෙක පිසදමා සිහිඑළඹාගත් මා වාඩිවී මුලින්ම වටපිට බලා මාත්සමග පන්සලට ගිය අයියාව සොයාගෙන ඇසුවේ එකම ප්‍රශ්නයකි.
-අයියෙ, හැමදාම මෙහෙමද?
-මල්ලි පිස්සු කතා කරනවා. අද මුකුත් උනේ නෑ. අද අලියෙක් දැක්කා විතරයි. වෙනදට වෙන දේවල්වල හැටියට මේවා සුලු දේවල්. අපි හැමදාම රෑට ගමන් බිමන් යන්නෙ ඔහොම තමයි. කොයි වෙලේද ශුවර් නෑ.

සදට පෙම් කර


නිසංසලයි සදකැන් ගං දිය වැටෙනා. 
හැගුම්බරයි මා සිත දියවැල් ලෙසිනා. 
සදේ රැසට පෙම් කල ගං දිය ලෙසිනා. 
මුලා උනා මගේ කියා සද කිරනා. 

අහසින් වැටෙන සදකැන් වාසනාවන්. 
පොළව තෙමන වැහි දිය වාසනාවන්. 
සයුරේ තිබෙන සැඩරළ වාසනාවන්. 
අමවක වුවත් ඔබ මට වාසනාවන්. 

ගංදිය ලෙසින් සයුර කරා බසිමින්නේ. 
ක්ෂිතිජය තුලින් එක්වන පැතුමක් තුලිනේ 
අහස පොළව කෙදිනද ලොව එක්වන්නේ? 
රැවටුනෙ මමයි මිරිගුව තුල හිදිමින්නේ. 

සුදු නංගි


සිදාදියේ කිරිල්ලියන් දකින          විට.
ඈත ගමේ ඔබ සිහිවෙයි මා        සිතට.
ඔසරිය ඇදි ඔබේ රූපේ මැවෙන    විට.
මේ කෙල්ලොද කියා සිතෙයි මා සිතට.

ඔසරි පළුව දමා ඉගට හැඩ      කරලා.
පුංචි පුංචි රැල් එකිනෙක     පටලාලා.
සිරික්කියක් දමා මෙමට හැඩ     පලා.
යන්න එපා තනි ඇහැ මට ඉගි මරලා.

පුළුල් උකුල නලවා ඔබ යනෙන    හැටි.
දකින දකින කොල්ලගෙ හිත වශී වෙති.
දොඩන වදන් අසුවන් සිත් ඇදලා   ගති.
රැජින ඔබයි හද මැදුරේ රැදුනු        නීති.

මගේ ආදරේ


මගේ  ආදරේ  කදුලින්  ලියු             බවට .
හැගෙයි  නිතර  නිතරම  තනි උන  මෙමට .
හැරදා  ගියත්  නිතරම  ඔබේ  සුවද     මට .
දැනෙයි  මෙමා  හද  පතුලෙන්  හඩන  විට .

උණුසුම  දැනේ  ඔබේ  නාදළු  දෙතොල්         වල .
සවනෙහි   වැටෙයි  ඔබේ  තෙපුල්  නොමැති    නල .
ජිවත්  වෙන්න  ආසයි  ඔබේ  දැස                   තුල .
සිහිනෙන්  එන්න  මගේ  පුංචි  රෝස              මල .

පෝසත්  කෙල්ලෙකුට   ආදරේ  කල  පවට .
උනේ  මෙමට  හිගන්නා  යයි  අසන්නන්ට .
නැන්දගේ  වචන  වැදුනා  මගේ     හදවතට .
වෛර  කරමි  හැමදා  පෝසත්          කමට .

සල්ලි  වලින්  කළහැකි  දේ  බොහොමයකි . 
මනුස්සකම  ඊට  වැඩ                   අරුමයකි  .
සල්ලි  වලට  මනුස්සකම  ගත       නොහැකි .
මනුස්සකම   දත්  මිනිහා  ලොව       රජෙකි .

මගේ 5 වසරෙ ලව් එක



මම මුලින්ම කෙල්ලෙක්ට ආදරේ කලේ 5 වසරෙදි.ඒ කාලෙ මන් කාපු බීපුවා විෂ වෙලාද මන්දා මට හොදට ඉගෙන ගන්න පුලුවන්.පන්ති නායක පට්ටමත් එක වාරයක් ගහන් හිටියා.දහම් පාසලේ උදේ රැස්වීමෙදි දහම් දැනුම ප්‍රශ්න අහන එකට මම පැනලම යනවා.විභාගයක් ලිවුවොත් සමහර ගෑනු ළමයි ඇවිත් "මනෝජ් ඔයාට ලකුණු කීයද" කියලා අහනවා.ඒ දවස් වල මම මෙහෙම නෑ හරි සංවරයි, අහිංසකයි.ඉතින් ඔන්න ඒ කාලෙ කැලණි විද්‍යාලයෙ මගේ පන්තියෙම හිටපු ගෑණු ළමෙක් මගේ හිත ඉස්සුවා. 
එයාට වැඩ පෙන්නන්න මම හැමදාම පන්තියෙ පළවෙනියා වෙන්න උත්සහ කලා.හැමදාම එයාට විශේෂ සැලකිලි. එයා පන්තිය අතුගානවනම් මම කොස්ස ඉල්ලනවා අතුගාන්න.එයා දෙන්නෙ නෑ.ඒත් මම ඉල්ලනවා.ප්‍රශ්නෙකට උත්තරේ ලිවුවත් මම එයාගෙන් අහනවා ඔයා මේකද ලිවුවෙ කියලා.මම එයාට ආදරෙයි කියලා පන්තියෙ කවුරුවත් දැනන් හිටියෙ නෑ. අඩුම තරමෙ ඒ කෙල්ලවත් ඒක දැනන් හිටියෙ නෑ. එයා අදටත් ඒක දන්නෙ නෑ.එයා හින්දා මම පන්තිය මැද්දෙ වීරයෙක් වෙන්න දගලපු අවස්තා එමට. ඉස්කෝලෙ උදේ රැස්වීමෙදි මම බලෙන් ගිහින් කතා පවත්වනවා.දත් වාට්ටුවට ගියාම පන්තියෙ කට්ටියට දත් මදින්න කියලා දෙන්නත් මම ඉදිරිපත් උනා.දත් තියෙන ආදර්ශකය අතට අරන් බුරුසුව අනිත් අතින් අරන් "මෙන්න මෙහෙමයි දත් මදින්නෙ, මෙන්න මෙහෙම රවුමට" කියලා මම කියද්දි දත් දොස්තර අහනවා "ළමයි ඔය පැත්තෙන්ද දත් මදින්නපටන් ගන්නෙ?" කියලා. අපේ පන්තියෙ උනුත් ඉතින් උම්බෑ කියනවා වගේ "නෑ ඩොක්ට" කිවුවනෙ.වීරයෙක් වෙන්න ගිහින් ඒ වගේ ඉල්ලන් කාපු චාන්ස් ගොඩකුත් තිබ්බා.ඒත් මම කවදාවත් උත්සහය අතෑරියෙ නෑ. හැමදාම විශේෂ දෙයක් කලා.දවස් ගානක් මම එයාට ලංවෙලා I love u කියන්න හැදුවා.ඒත් ඒ එක දවසකවත් මට ඒක කියාගන්න බැරි උනා.මගේ හිත මට කිවුවා එයා මට බෑ කියයි කියලා.අනික මම විතරක් නෙමෙයි එයාගෙ හිත ගන්න try කලේ.පන්තියෙ තවඋනුත් එයාටකැමතියි කියලා එක දවසක් මම දැනගත්තා.පන්තියෙ කබඩ් එකේ තිබ්බ පොතක I love you ......... කියලා එකෙක් ලියලා.එක පාරක්නම් කමක් නෑ. මූ අන්තිම පිටුව වැහෙන්නම දහ පාරක් විතර ලියලා.ඒ දවස් වල මමයි තව එකෙකු‍යි ශර්ලොක් හෝම්ස්ගෙ වැඩ බාරඅරන් පන්තියෙ හැම එකෙකුගෙම අත් අකුරු චෙක් කලා.ඒත් වැඩේ කල එකා අහු උනේ නෑ. 
දවසින් දවස ශිෂ්ශත්වෙ ලියලා ප්‍රතිඵල එන දවසත් ආවා.මම ඉස්කෝලෙන් දෙවෙනියට පාස් වෙලා.අපේ ඉස්කෝලෙන් 14ක් හරි 9ක් හරි පාස්වෙලා.අරයත් ඒ අතරෙ හිටියා.එදා මම ගෙදර ගිහින් අම්මට කිවුවා "අම්මෙ මාව ....... යන ඉස්කෝලෙටම දාන්න" කියලා.අම්මාත් හිනාවෙලා හරි හරි කිවුවා. 
ඒත් හයවසරෙදි එයා grlz scl එකකට ගියා.මම boyz scl එකකට ගියා.එදායින් පස්සෙ මම එයාව දැක්කෙ සක්යා ක්ලාස් යද්දි.ඒත් මම ඉස්සර වගේ වීරයෙක් වෙන්න ගියෙ නෑ.මම එයාව දකින හැමදාම එයාව මගෑරියා.කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. 
මම අදටත් මගේ 5හේ ලව් එක ගැන මතක් කරලා තනියම හිනාවෙනවා.ආයිත් මට ඒ ජීවිතේ විදින්න පුංචිකාලෙට යන්න බෑ.ඒත් සුන්දර මතක වගේම දුක්බර මතක ගොඩක් හින්දා අදත් මම මගේ පුංචිකාලෙ රසවිදිනවා.

සිතුවිලි


සදුට හිරුට වැඩියෙන් ඔබ, 
මා ළග තනි රැක්කා. 
පොතට ගුරුට වැඩියෙන් ඔබ, 
ගුරුහරුකම් දුන්නා. 
මවට පියට වැඩියෙන් මට, 
හරි මග ඔබ පෙන්නා. 
යන්න ගියා දුර ඈතක, 
කදුලක රස රන්දා.