Thursday, November 5, 2015

අත්තම්මා


'මචං, අපෙ අත්තම්මා නැතිවුනා. බොඩි එක තියෙන්නෙ අපේ ගෙදර නෙමෙයි. අපේ අම්මලගෙ මහ ගෙදර ඒක තියෙන්නෙ. උඹ එනවනම් මට කෝල් එකක් දීපන්' යනුවෙන් සචියාගෙන් ලැබුනු මැසේජ් එකෙන් කියවුනි.
එදින හවස වැඩ අවසන්වී ගෙදර යන අතරතුර මළගෙදරටද ගොඩවී යාමට මට සිතුනි. බයික් එක කැලණියෙන් ගල්බොරැල්ල දෙසට හරවා යන අතරතුර එකදිගට සචියාට කෝල්ස් 5ක් පමණ ගත් නමුත් උගෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.
'උගෙ ගෙදර කවුරු හරි ඇතිනෙ. ගෙදරට ගිහින් අහගන්නවා. ගෙදර උන් සේරම මළගෙදර වෙන්න බෑ. තාම 7ටත් නෑනෙ. සමහරවිට උගෙ නංගිත් ගෙදර ඇති' සිතූ මා සචියාගේ නිවසට ඇදුනෙමි.
බයික් එක පාර අසලින් නවතා "සචියෝ, සචියෝ" යනුවෙන් දෙතුම් වරක්ම කෑගැසූ නමුත් ගෙතුලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නැත. නමුත් සාලේ හා කාමරවල ලයිට් දමා ඇති බැවින් ගේට්ටුව ඇරගෙන දොර වෙතට ගොස් දොරට තට්ටු කලෙමි.
"පුතේ ඔය ගෙදර කවුරුත් නෑ. චූටිගෙ අත්තම්මා අන්ත්‍රාවෙලා එයාලා මළගෙදර ගිහින්" යනුවෙන් අල්ලපු නිවසේ පිළිකන්නේ සිටි ආච්චිඅම්මා කෙනෙකු මට පැවසීය.
"ආච්චි මළගෙදර කොහෙද තියෙන්නෙ කියලා මට කියන්න පුලුවන්ද"
"ඉස්සරහ හන්දියෙන් දකුණට තියෙන පාරෙ හැතැම්ම කාලක් විතර යද්දි තුන්මන් හන්දියක් හම්බවෙයි. එතනින් වම් පැත්තට යොදුන් සීයක් විතර යද්දි පාර අයිනෙ කොඩි දාල තියෙනවා පේනවා.අන්න එතන."
"බොහොම ස්තූතියි ආච්චි, මම ගිහින් එන්නම්" පැවසූ මා ඒ පාර දිගේ පැමිණ හරි තැන සොයාගතිමි.
මිදුලට වී හට් එකක් හයිකරමින් සිටි සචියා මා දැක එය නවතා මා වෙත පැමිණියේ 'ආ උඹ ආවද' කියමිනි.
'ආවා තමා යකෝ. ගනින් කන්න බොන්න තියෙන ඒවා. තොගෙ අල්ලපු ගෙදර ආච්චි පාර කිවුව නිසා හොදා.තොට මම කෝල්ස් කීයක් ගත්තද #&$(3). තොට ඒ එකක්වත් උස්සන්න බැරි තරම් වැඩද?'
'ෆෝන් එක චාජ් වෙන්න ගහලා බන්. ඒකයි මම උඹෙ කෝල්ස් දැක්කෙ නැත්තෙ. අනික අපේ අල්ලපු ගෙදර ඇති ආච්චියෙක් නෑ බොල. එහෙ ඉන්නෙ අලුත බැදපු ජෝඩුවක්.'
'අනේ පල ඩා යන්න. එතකොට උඹෙ ආච්චිගෙ හොල්මනද අල්ලපු ගෙදර පිළිකන්නෙ ඉදන් හැරමිටිය ගගහා ඇවිත් චූටිගෙ අත්තම්මා අන්ත්‍රාවෙලා කියලා මට කිවුවෙ. මම කොණ්ඩෙ බැන්දට චීනෙක් නෙමෙයි යකෝ. හිතේ ඇති මාව බය කරන්න' යනුවෙන් මා පැවසූ දෑ ඇසූ සචීගේ ඇස් එකවරම ලොකු වූ අතර ඔහුගේ මූණ පුරාම විමතියට පත්වූ ලකුණු දක්නට විය.
'පොඩ්ඩක් වරෙන් මාත් ඇතුලට යන්න. මේක සිරාවටම කියන්නෙ. අම්මපා. අපේ ආච්චි විතරයි මට චූටි කියලා කතාකලේ. අනික අපේ ආච්චිත් හැරමිටිය ගගහ තමා ඇවිද්දෙ. පොඩ්ඩක් ඇතුලට ඇවිත් බලපන්කො මනා' යනුවෙන් සචී පැවසූ වදන් ඇසූ මා හදගැස්ම වේගවත් වූ අතර කකුල් දෙක වෙවුලන්නට විය. මා ඕනකමින් නොව සිහිනෙන් ඇවිද්දාක් මෙන් මිනිය තැන්පත්කර තිබූ සාලය වෙතට සචී පසුපසින් යන ලදී.
මිනිය දෙස බැලූ එකම බැල්මෙන් සිදුවූ සියල්ල මා හට වැටහුන අතර හදගැස්ම ඩබල් ත්‍රිබල් වී මුලු ගතම දහඩියෙන් වෙලාගන්නා විට අසල තිබූ පුටුවක මා වාඩිවූයේ "ඇයි මටම මෙහෙම වෙන්නේ" යන ප්‍රශ්නය මාගෙන්ම අසමිනි.

No comments:

Post a Comment