Thursday, November 5, 2015

ධර්මද්වීපය


මේක උදේ පාන්දර තුනේ හතර ඉදන් පිරිත් ඇහෙන රටක්. පෝයදාට විතරක් නෙමෙයි. හැමදාම උදේට ටීවි එකේ රේඩියෝ එකේ බණත් ඇහෙනවා.
දාතූන් වැඩමකරවලා කිවුවොත් රටේ එහා කොනේ ඉදන් මෙහා කොනට නඩ පිටින් වන්දනාවෙ යන්නෙ එන්නෙ. දාතු වන්දනාවෙ තරම කොහොමද කියනවානම් කිලෝමීටරයක් දෙකක් ලංවෙද්දි වාහනයක් කිට්ටු කරන්නවත් බෑ. පයින්ම තමා යන්න වෙන්නෙ. ඒ වගේද දස දහස් ගණන් පෝලිම.
වෙසක් එකට පොසොන් එකට, ගම පුරාම දන්සල්, බොදුබැති ගී, දානමාන පිංකම්.
හැමපෝයටම සිල්ගන්න මිනිස්සු ඉන්න රටක් මේක. සිල්ගන්න බැරි උනොත් පන්සල් හරි යනවා. එහෙම නැත්නම් උදේ ඉදන් මහ හයියෙන් සද්දෙ දාගෙන රේඩියෝ එකේ යන බණ අහනවා.
ඒත්,
හතර පෝයට සිල්ගන්න රටේ, උදේ ඉදන් පිරිත් අහන රටේ, දාතු වදින්න දවස් ගනන් දුක් විදින මිනිස්සු ඉන්න රටේ, අහන්න වෙන කතානම් අන්තිමයි.
ගෙරි තම්බියො, දෙමළු කොටියො කියන වෛරයෙන් මිනිස්සු අන්ධ වෙලා. මිනීමැරුම්, ළමා අපචාර, දූෂණ, මංකොල්ලකෑම්, පැහැරගැනීම්, කප්පම්, වංචා ගැන හැම පත්තරේකම මුල් පිටුවෙ ලොකු අකුරින්, හැමදාම ලියවෙනවා.
ගහපියවු, මරපියවු, කොටපියවු කියලා බුදුදහමෙ කොතනද ඉගැන්නුවෙ කියලා මම තාමත් හොයනවා. ජාතිවාදය, ආගම්වාදය ත්‍රිපිටකයෙ තියෙනවද කියලත් මම තාම හොයනවා.
උදේ ඉදන් රට ජාතිය ආගම ගැන කතාකරන බෞද්ධ යැයි කියාගන්නා ෆේස්බුක් පිටුවල තියෙන සභ්‍යත්වය, සංවරකම, හැදියාව දැක්කම මට වෙලාවකට දුකත් හිතෙනවා. ඒවගෙ තියෙන සංවර කමෙන්ට් දැක්කම මට සිංහලයා ගැන මාර ආඩම්බරයක් දැනෙනවා.
වෛරය වැපිරීමෙන් කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ කියලා බුදුහමුදුරුවො දේශණාකලේ නැද්ද කියලා මට ආයිත් පාරක් හොයන්න හිතෙනවා.
අනේ මන්දා.
මේක ධර්මද්වීපයක් ලු. ඒත් ක්‍රියාව?

No comments:

Post a Comment