Thursday, November 5, 2015

අල්ලපුගෙදර


"මනා, මට හදිසි පාටියක් බන්. අක්කයි අම්මයි ගියා බෝධිපූජාවක් තියන්න කැලණියට. එයාලා එද්දි හත හතාමාර වෙයි. හොද එකා වගේ හය වෙද්දි මල් දෙකතුනක් කඩලා පහන තියලා සාලෙයි එළියෙයි ලයිට් ටික දාලා තියපන්කො. නැත්නම් ගෑණි ඇවිත් මගෙ ඔලුව කයි බන්" කියමින් මා වෙත යතුරු කැරැල්ලක් විසික් කල රුවන් අයියා බයික් එකේ නැගී පිටත්විය.
.......
මොන රෙද්දක්ද මන්දා. මුන්ටත් මාවමයි පේන්නෙ. ඒත් ඉතින් මොනා කරන්නද. අල්ලපුගෙදර එකානෙ. ඌට බෑ කියන්නත් බෑනෙ. 
"අම්මේ, මට හයට විතර මතක් කරන්න රුවන් අයියලගෙ ගෙදර ලයිට් ටික දාලා එන්න." යනුවෙන් අම්මා අමතා එලාම් එක ඔන් කල මා ලැප් එක දාගෙන ගේම් ගසන්නට පටන් ගතිමි.
පැයකට පමණ පසු අම්මා දෙතුන් වතාවක්ම කෑගැසීමෙන් අනතුරුව මා ගේම් එක නවතා රුවනයාට ලුනුඇඹුල් ඇතිව හිතින් බණිමින් එළියට බැස්සෙමි. 'නිදහසේ ගේම් එකක්වත් ගහන්න නෑ. මුන් රවුම් ගහන්න අපි කටු කන්න. හිටපන්කො අද ඕකාගෙ ෆිජ් එක හිස් කරනවා...........' යනාදී නොයෙක් සිතුම් රාශියක් මා සිත පුරවාගෙන රුවන් අයියාගේ ගෙදරට ඇතුලුවුනෙමි.
.........
පුංචි වට්ටිය පිරෙන්නට මල් කඩා පැන් ඉස, පහන පත්තුකර හදුන්කූරු දෙකක්ද දල්වා වැලි පිරවූ යෝගට් කෝප්පයේ ගැසූ මා ගෙයි ඉදිරිපස හා සාලයේ ලයිට් දෙක ඔන් කරන ලදී.
දැන් තමා මගේ වාරෙ. තරු සේ දිදුලන දෑසින් යුක්තව කුස්සිය දෙසට මා පියමැන්නේය. කුස්සියට ගොස් ෆිජ් එක දෙසට ලංවනවිටම මට ඒ හඩ ඇසුනි. එවිට පපුවේ හදගැස්ම හැත්තෑවේ සිට දෙසීය දක්වා ක්ෂණිකව වැඩිවූ අතර පපුව පැලී හදවත එළියට පනීවිදෝ යැයි මට සිතුනි. ඇගේ සියලු රෝමකූපයන් ස්මයිල් වී ඇගපුරාම විදුලියක් කොටන්නාක් මෙන් දැනී ගියේය. ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට නොහැකිව ගල් උන අතර කාලය නතර උනාදෝ යැයි හැගුන තත්පර 5ක් කල්පයක් සේ සෙමින් ගෙවී ගියේ මා සිත දහසක් අදහස් පහල කරමින්ය.
.........
මීට මාස දෙකකට පමණ පෙර රුවන් අයියාගේ ආච්චි මියගියේ මේ නිවසේ ජීවත්ව සිටියදීය. ඒ දිනවල අප රුවන් අයියගේ බිරිද වූ ශ්‍යාමලී අක්කාව නිතර නිතර බය කලේ ආච්චි ගෙදර අතහැර නොයන බව කියමින්ය. එය සැබෑවක් කරමින් පළමු සති දෙක ඇතුලත අක්කාට නොයෙක් ශබ්දයන් ඇසී තිබුණි. මට මේ මොහොතේ ඇසුන බාත්රූම් එකේ කොමඩ් එක ෆ්‍රෙශ් කර වතුර ගලායන හඩද මීට පෙර ශ්‍යාමලී අක්කා නිවසේ තනිව සිටි වෙලාවක ඇසී තිබුන අතර, එය දවල් වරුවක ඇසුන බැවින් ඇයට එතරම් ගානක් නොමැතිව කවුරුන් හෝ ආවාදැයි බාත්රූම් එකට ගොස් සොයාබලා ඇත. එය හිස් බව දැනගත් විගස ඈ නිවසින් එළියට බැස අප මව සොයාගෙන පැමිණ තිබූනි.
..........
කල්පයක් තරම් සෙමින් ගලාගිය තත්පර 5 අවසානයේ වතුර ගලාගිය හඩනතර විය. ඉන් පසුව ඇසුනේ සෙමින් කහින හඩකි. කිසිදු සැකයක් නැත. ඒ හඩේ හිමිකාරිය ආච්චීමය. තවත් කිසිවක් ඇසෙන්නට මත්තෙන් "අම්මේ........" යනුවෙන් මරහඩ තලමින් මා එළියට පැන්නෙමි.

No comments:

Post a Comment