Tuesday, July 5, 2016

සෙව්වන්දි


ඈ මියගියේ මාගේ වරදිනි. ගෙවෙනා හැම මොහොතක් මොහොතක් පාසාම ඈගේ මතකය මාගේ සිතතුල රිදුම් දෙයි. දින හතකට පෙර මා ඇය හට පැවසූ දේ ඇගේ ජීවිතය උදුරාගනීවි යැයි මා සිතුවේ නැත.
"සෙව්වන්දි, ඔයා අද වැඩට යන්න එපා පණ."
"ඇයි අයියෙ එකපාරටම?"
"අද පාන්දර මම මහ නරක හීනයක් දැක්කා නංගි. ඒ නිසා අදට විතරක් ඔයා ගෙදර ඉන්න. ප්ලීස්"
"අයියෙ අද මම ගියෙ නැත්නම් ඔෆිස් එකේ වැඩ ගොඩගැහෙනවා. එතකොට හෙට මට වැඩ කන්දක් කරන්න වෙනවා අයියෙ. ඔයා ඒක දන්නවනෙ මගෙ සුදු අයියෙ."
"ඒ උනාට කමක් නෑ නංගි. මම කියන හින්දා අදට විතරක් ගෙදර ඉන්න."
"අනේ අයියෙ...... ඔයා මොකක්ද දැක්ක හීනෙ? හීනවලට බයවෙලා බෑනෙ සුදු අයියෙ."
"මම දැක්කා ඔයා බස් එකෙන් බැහැලා පාර අයිනෙන් යද්දි වෑන් එකකට ඔයාව හැප්පෙනවා. ඔයාගෙ සාරිය පුරාම ලේ තිබ්බා. මම එතනට ඇවිත් කෑගගහා ඔයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහන නවත්තන්න හැදුවා. ඒත් එක වාහනයක්වත් නැවැත්තුවෙ නෑ"
"හි හි. අයියෝ ඕකද අනේ හීනෙ. මැරෙන්න තියෙනවානම් අපි කොහොම කලත් මැරෙනවා. ඔයා බය වෙන්න එපා සුදු අයියෙ මම පරිස්සමෙන් ගිහින් එන්නම්" යනුවෙන් සෙව්වන්දි පැවසූ පසු, මා හට පැමිණි කේන්තිය ඉවසාගත නොහැකි විය.
"යන්නම ඕනෙනම් යනවා. මට වඩා ජොබ් එක ලොකුයිනෙ. ඉතින් යනවා" කියූ මා දුරකථනය විසන්ධි කලේ තවත් කතාකලහොත් මා ඇයට තවත් බණිනා බැවිනි.
අනතුරුව ඇගෙන් එක දිගට මා වෙත ඇමතුම් ගලා ආ නමුත් ඒ එකදු ඇමතුමක් සදහාවත් මා ප්‍රතිචාර නොදැක්වූයේ මා සතුව තිබූ කේන්තිය නිසාවෙනි.
අනතුරුව ඇගෙන් මා වෙත කෙටි පණිවිඩයක් ලැබුනේ මාගේ කේන්තිය නැමති ගින්නට වතුර ගසා කේන්තිය නිමමින්‍ ය.
"තරහද මගෙ සුදු අයියෙ? අයියා දන්නවනෙ අයියා එක්ක තරහා වෙලා මට ඉන්න බෑ කියලා. මම අද ගෙදර ඉන්නම්. අයියා පැටියා දැන්වත් මාත් එක්ක යාලු වෙන්නකො. උදේ පාන්දර කේන්ති අරන් වැඩට යන්න එපා අයියා බබෝ."
ඇගේ එම කෙටි පණිවිඩය ලද පසු මා ඇය වෙත දුරකථන ඇමතුමක් ලබාගත් අතර ඒ කතා කල විනාඩි 10 අප ජීවිතයේ කතා කරන ලද අවසාන වතාව විය.
ඈ හා කතාකල පසු මා වැඩට ගියේ සිතේ තිබූ කේන්තිය සිනහවක් බවට පෙරලාගෙනය.
දවල් 12 පමණ වනවිට මගේ දුරකථනය නාද වූයේ සෙව්වන්දිගේ පියාගේ දුරකතනයෙන් ඇමතුමක් ඇති බව කියමිනි. මම එයට පිළිතුරු දීම සදහා දුරකථනය කනේ තබාගත්තා මා හට මතකය. ඉතුරු සියල්ලම සිහිනයක් මෙනි.
"පුතේ...... පොඩි දූට කරන්ට් එක වැදිලා. අම්මා එයාව ඉස්පිරිතාලෙට අරන් යනවාලු. අනේ පුතේ ඉක්මනට එන්න. අනේ පුතේ මගේ දුවට මොනා හරි වෙලානම් මම ඉදලා වැඩක් නෑ. මම ඉස්පිරිතාලෙට යන ගමන් පුතේ. අනේ ඉක්මනට එන්න." යනුවෙන් වූ වදන් ඇසූ මාගේ දෑස් දෙකම එකවර අදුරු වී ඔලුව කැරකෙන්නාක් මෙන් විය. වාඩි වී සිටි පුටුවේම වාඩි වී "තිසල්...." යනුවෙන් අමාරුවෙන් මා හඩ නැගුවෙමි.
"මොකද මනෝජයා" කියමින් ඌ මා වෙත එන විටත් මාගේ දෑසින් මොර සූරන වැස්සක් සේ කදුලු කඩා හැලෙන්නට පටන් ගෙන අවසානය. පපුව වේගයෙන් හැගෙනා අතර කදුලු අතරින් ඉකිබිදුමක් ඉබේම පිටවිය.
"මොකෝ මනා උනේ, මොකක්ද කේස් එක?" යනුවෙන් තිසල් අසනවා මා හට සිහිනෙන් මෙන් මතකය. වැටෙනා කදුලු අතරින් ඉකිබිදිමින් සිදුවූ දේ ඌ වෙත මා කියනා විට මුලු ඔෆිස් එකේම උන් මා වටකරගෙන අවසානය.
"වරෙන් යන්න. අපි දැන්ම යන්. මොකක්ද ඉස්පිරිතාලෙ?" යනුවෙන් තිසල් අසමින් මාව පුටුවෙන් අදින්නට විය.
"තිසල් මගෙ කාර් එකේ පලයන්. ඉක්මනට පලයන්. මොකක් හරි ඕනෙනම් ටක් ගාලා කෝල් කරපන්" කියූ මැනේජර් ජගත් අයියා ඔහුගේ කාර් එකේ යතුර තිසල්ට දුන්නා මා දුටුවෙමි. මා කෙසේ කාර් එකට නැග්ගාදවත් මා හට මතක නැත.
සෙව්වන්දිගේ පියා ඒ වන විටත් ඉස්පිරිතාලෙට ගොස් සිටි නමුත් ඔහු කිසිවක් මා හට දුරකථනයෙන් පැවසුයේ නැත. මා මග දිගටම "සෙව්වන්දිට කොහොමද මාමෙ" යනුවෙන් ඇසූ නමුත් ඔහු අඩනා හඩ මිස වෙන කිසිවක් මා හට ඇසුනේ නැත.
ඉස්පිරිතාලෙට ගිය පසු මා හිත තුල සැගවී තිබූ සැකය තහවුරු වූයේ සෙව්වන්දිගේ මවගේ මුවන් පිටවූ වදනිනි.
ඈ මා අතහැර යන්නම ගොසිනි.
එය දැනගත් පසු මාගේ පපුව හිරවී එකවරම දෑස් නිලන්කාරවී ගියේය. නැවතත් මා අවදිවන විට මා කොරිඩේවේ වූ පුටුවේ හාන්සිකර සිටියේය. නර්ස් කෙනෙකු පැමින මා හට සිහිය ගෙන තිබූ අතර ඈ මොන මොනවාදෝ මා හට කියු නමුත් ඒ කිසිවක් මට ඇසුනේ නැත.
මගේ මුවින් දිගටම පිටවූයේ "මම සෙව්වන්දිව මරාගත්තා.... මම එයාව මරාගත්තා" යනුවෙනි. සෙවුවන්දිගේ පියා පැමිණ මා සනසවන්නට උත්සහ කල නමුත් ඒ කිසිවෙකුටත් මාගේ කදුලුවත් ඉකිබිදුමවත් නැවතීමට නොහැකිවිය.
ගතවූ දවස් 7 තුලම මා හැමෝටම පැවසූයේ "මා සෙව්වන්දීව මරාගත් බවයි". ඒත් ඒ කිසිවෙක් මා හට කිසිවක් නොකීම මා හට දරාගත නොහැක. ඔවුන් සියල්ලන්ම කියන්නේ මගේ වරදක් නොමැති බවයි. අඩුම තරමින් සෙව්වන්දීගේ මව හෝ පියාවත් මා හට වචනෙකින් හෝ බැණ්නේ නැති එක මාගේ වේදනාව දෙගුණ තෙගුණ කරවිය.
අද දවල් ඇගේ හත් දවසේ දානය තිබුණි. ඇය සමුගෙන අදට දින හතක් ගෙවුනද මාගේ සිතෙන් ඈ කිසිදු දිනෙක සමු ගත්තේ නැත.
මන් අද ඔයා ලගට එනවා සෙව්වන්දි. මට ඔයා නැතිව ජීවිතයක් නෑ. ඔයාගෙ දානෙ වැඩටිකත් ඉවරයි. මන් දන්නවා ඔයා කොහෙ හිටියත් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් මම ඔයාලගෙ ගෙදරින් දවල්ට කාලා නිදි පෙති 40ක් බීපු එක ඔයාට නවත්තන්න බැරි උනා. මම දැන් 154 බස් එකේ නැගලා අලුත් පාලම ලගට යන ගමන්. මට දැනටමත් ඔලුව උස්සන් ඉන්න පණ නෑ මගෙ සෙව්වන්දියො. මම පාලම ගාවට ගියාට පස්සෙ ඔයා ලගට එනවා මගෙ පණ. මම ඔයාට හැමදාමත් ආදරෙයි. කිසිම කෙනෙක්ට අපේ ආදරේ වෙන් කරන්න බෑ. අපි මැරුනත් මරණෙටවත් බෑ අපිව වෙන් කරන්න. තව ටික වෙලාවයි ඔයාට තනියම ඉන්න වෙන්නෙ මගෙ පණ. මම එනවා ඔයාගෙ තනියට.

No comments:

Post a Comment