Friday, July 1, 2016

මහරගම අපේක්ෂා රෝහල 1

අද මම ගියා මහරගම අපේක්ෂා රෝහල හෙවත් පිළිකා රෝහලට. ඒ බුකියෙ යාලුවො සෙට් එකක වැඩකට උදව් කරන්න. එයාලා අද අපිවත් එකතු කරන් ලොකු පිනක් කලා. මුලු පිළිකා රෝහලටම අද අපි තැඹිලි වතුර දුන්නා. ඒ වගේම රෝහලට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය කිහිපයකුත් පරිත්‍යාග කලා. රෝහල අසල පන්සලේ විශ්‍රාම ශාලාවෙ රෝගීන්ගෙ නෑදෑයො ගොඩක් නැවතිලා ඉන්නවා. එයාලා වෙනුවෙන් අපි වියලි සලක වගයකුත් පන්සලට භාරදුන්නා.
ඉස්පිරිතාලෙ හැම වාට්ටුවකටම මම ගියෙ නැති උනාට ගොඩක් වාට්ටුවලට අද මම ගියා. ඒ මිනිස්සු විදින දුක මම අද දැක්කා. සමහර ලෙඩ්ඩු කොරිඩෝ එකේ පුටු දාගෙන එතනින් බෑග් එක තියාගෙන වාඩිවෙලා ඉන්නවා. මමත් කාලයක් කොළඹ ජාතික රෝහලේ ඔය වගේම පුටුවල දවල්ට වාඩිවෙලා ඉදලා, රෑට ඇදක් යට පැදුරක් එලාගෙන නිදාගත්ත හැටි මතක් උනා. රෑ 9ට 10ට නිදාගෙන පාන්දර 4ට 4.30ට වෝඩ් එක අතුගාන්න අපිව නැගිට්ටුවහම ආයිත් පුටුවට ගිහින් වැටුන හැටි මට මතක් උනා.
මම අවුරුදු 25ක කොල්ලෙක්. ඒත් මට ඉස්පිරිතාල එපා උනා ඒ නිසා. ඇදක් නැත්නම් නවතින්න බෑ කියපු වාර ගොඩක් තිබ්බා. කොල්ලෙක් වෙච්ච මට ඒ කට්ට දරා ගන්න බැරිනම් වයසක හෝ මැදි වයසෙ ඉන්න මෙයාලාට මේ කට්ට කොහොම දැනෙනවා ඇතිද කියලා ඔයාලට හිතාගන්නවත් බෑ. මේ අපේම අසරණ මිනිස්සු.
සේරම වාට්ටු අතරින් මට යන්න අමාරුම වාට්ටුවටත් මම අද අවුරුදු 2කට පස්සෙ පය තිබ්බා. ඒ ළමා වාට්ටුව.
ඒ හැම පුංචි ළමෙක් ලගම අම්මා හරි නැත්නම් වෙන කවුරු හරි නැවතිලා හිටියා. මම ඒ වාට්ටුවෙන් එද්දි පුංචි නංගි කෙනෙක් මගේ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. තට්ටෙ ගාපු ඒ ඔලුව, මූනෙ තිබ්බ අහිංසකකම ගැබ්වුන අඩාගන්න බැරි බැල්ම මට තාමත් මැවිලා පේනවා.
නංගියෙ, මේක ඔයා වෙනුවෙන්......
‪#‎මනෝජ්_අයියා‬
පුංචි නහය ඇතුලට බට දැම්මාට....
රිදුනේ නෑනෙ මගේ පුංචි නංගීට....
කවුරුත් නෑනෙ අයියට ටොකු අනින්නට...
පාලුයි නංගි හොද වෙන්නකො ඉක්මනට...
‪#‎නංගි‬
එන්නම් අයියෙ අයියට ටොකු අනින්නට...
අම්මගෙ සාරි ඇද සෙල්ලම් කරන්නට...
අයියට හොරෙන් බයිසිකලේ පදින්නට...
එනවා නංගි හොද වූ පසු ඉක්මනට...
අයියේ ඔබේ නංගිට පිළිකාවක්ලූ........
ජීවත් වෙන්න ඇත්තේ ටික දවසක්ලූ........
දෙවි පිහිටක් ලැබුනොත් මා බේරෙයිලූ........
මට නම් නොතේරෙයි අයියේ මේ සියලූ........

No comments:

Post a Comment