Saturday, October 29, 2016

ඈ බඩුව නම් විය.....


"මනා, වරෙන් බන් බඩුවක් ගහන්න ඕනෙ. ත්‍රීවිල් එක පොඩ්ඩක් නවත්තපන්." කියූ ඌ කෝල් එකක් ගන්නට විය.
"අක්කෙ මම සුමුදුගෙ යාලුවා කතා කරන්නෙ. මම ඔය පැත්තෙ දැන් එන්න කියලා.....
ආ හරි හරි අක්කෙ. මම එන්නම්" කියූ ඌ "මනා ටක් ගාලා කලාපෙ පාරට යමන්" යනුවෙන් මට පැවසුයේ මා ඉක්මන් කරමිනි.

තවත් නොබෝ වේලාවකට පසු ඌගේ මාර්ග සිතියමට අනුව ගොස් විශාල හෝටලයක් ඉදිරියේ ත්‍රීවිල් එක මා නතර කලේ අතර මගදී ප්‍රශ්න දාහක් අරූ වෙත එල්ල කර තවත් ප්‍රශ්න දාහක් හිත තුල තබාගෙනය.
"උඹ මගේ පස්සෙන්ම වරෙන්කො උඹටත් බඩුවක් ඕනෙ වගේ. අපිව කාමරවලට එක්කගෙන ගිහින් කෑලි ටික පෙන්නයි. එතකොට උඹේ ප්‍රශ්නවලට උත්තර උඹම හොයාගනින්." කීයූ ඌ හෝටලය දෙසට ඇදුනේ පුරුදුකාරයෙකු විලසිනි. මාද ඌ පිටුපසින්ම ඉදිරියට ගියේ ඌ පැවසූ පරිද්දෙනි.
අප හෝටලය තුලට ඇතුල්වනවාත් සමගම අවුරුදු 40ක පමණ කාන්තාවක් පැමිණ මා මිතුරා සමග කතාබහ කල අතර ඒ අක්කා නමින් ඇමතූ කෙනා බවට මා හට පසක් විය.

"අක්කෙ මගෙ නම්බර් එක සේව් කරගන්නකො. එතකොට හැමදාම අරයගෙ මෙයාගෙ යාලුවා කියලා කියන්න ඕනෙ නෑනෙ." කියූ මා මිතුරා අක්කා පසු පසින් අදුරු කොරිඩෝවක් දෙසට ඇදුනි.
එහි වූ කාමරයක් ලගට ගොස් තට්ටු කර "දොර අරින්න" යැයි අක්කා පැවසූ පසු කාමරයේ දොර විවර කළේ රූමත් යුවතියක් විසිනි. තරමක මහත ඈ දෙස බැලූ මා මිතුරා නැවතත් හැරුනේ ඊලග කාමරයට යන අදහසිනි. දෙවන කාමරය ලගටද ගොස් අක්කා පෙර පරිදිම තට්ටු කළ පසු දොර විවර විය. විවර වූ දොර තුලින් පෙනී සිටියේ කලකට ඉහත මා හොදින් දැන හදුනා ගෙන සිටි අක්කා කෙනෙකි.
ඈ මා වෙත බැල්මක් හෙලූ මුත්, ඈ හට මාව හදුනා ගැනීමට නොහැකි වූ බව මා හට 75%ක්ම විශ්වාසය. මන්දයත් මුහුණ පුරා වැවූ ඝණ රැවුලත් ඔලුව වැසිමට දැමූ අයිස් කැප් එකත් නිසා මා වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වී ඇති බැවිනි.
මා පියවරක් පසුපසට තැබුවාද තැබුනාද යන්න මා නොදන්නා මුත් අඩියක් දෙකක් පසුපසට මා ඒ වන විට ගොස් සිටියෙමි.
"අක්කෙ මම මෙයාව ගන්නම්" කියූ මා මිතුරා ඌගේ පර්ස් එක ඇද අක්කාට සල්ලි ගෙවන ලදී.
"උඹ මොකද කරන්නෙ, උඹට එකක් බලනවද? ගෙදර යනවද?" යනුවෙන් මා මිතුරා විමසුයේ මා ගෙදර යන බව දැන දැනමය.
"මල්ලි මෙයාලා දෙන්නා විතරයි දැන් ඉන්නෙ" යනුවෙන් හෝටලයේ අක්කා මැදින් පැන උත්තර දුන්නේ මගේ වෙලාව හොදකමටය.
"එහෙමද, මට සෙට් වෙන්නෙ නෑ බන්. මම ගියා එහෙනම්" යනුවෙන් පැවසූ මා එතනින් පිටව නිවස බලා පිටත් විය.

දෙවන කාමරයේ සිටි යුවතිය පිළිබද මතකය නිවසට එන අතර මගද, නිවසට ආ පසුද මා හට වද දුන්නේ ඈ බඩුවක් වීමට හේතු වූ කරුණ මා දන්නා බැවිනි. ඇ වෙනුවෙන් මා සිත වැලපෙනවාද, අනුකම්පා කරනවාද යන්න මා හට නොතේරේ.
මා මිතුරා තෝරාගත් කෙල්ල මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමල්ය.
මීට වසර 4කට පමණ පෙර මා අලුතින් ලැප්ටොප් එක ගත් විට මා ෆිල්ම්, රෙස්ලින්, ගේම්ස් මිලට ගත් කමියුනිකේෂන් එකක් කඩුවෙල හන්දියට ආසන්නයෙන් විය. එහි අයිතිකාර අයියා කාලයක් යත්ම මා සමග හොදින් මිතුරු වූ අතර බිස්නස් වැඩි වූ බැවින් සෑම දිනකම කඩය විවෘත්‍රව තැබීම අත්‍යවශ්‍ය කාරනයක් විය. එබැවින් කඩයේ වැඩට අයිතිකාර අයියා සේවිකාවක් ගන්නා ලදී. ඈ කුරුණෑගල සිට පැමිණ බියගම බෝඩිමක නැවතී රුපියල් 18,000.00 පඩියට සතියේ දින 7ම වැඩ කලේ දුප්පත්කමේ උරුමය නිසාවෙනි. බොහෝ දිනවල අක්කා තනියම කඩේ සිටින විටදී මා හා ඇගේ විස්තර කතාකල අතර එමගින් ඈ හා මා මිතුරන් වූයේ නිරායාසයෙනි. කෑමට බීමට, බෝඩිමට වියදම් කර සෑම මසකම දින තුනක නිවාඩුවක් ගෙන ඈ රුපියල් 10,000ක් නිවසට රැගෙන යන්නේ නිවසේ ආලෝකය වෙමින් බව මා හට හැගුනේ ඈගේ පියා නොමැති බව දත් නිසාවෙනි.

දිනක් මා එහි යන විට කමියුනිකේෂන් එක පසුපස ඇති කොටසින් මා හට ඇසුනේ ඉකිබිදිමින් කියූ වදන් කිහිපයකි. එය ඇසූ මා හට සම්පූර්ණ කතාවෙන් 90%ක්ම තේරුම් ගත හැකි විය.
"ඇයි අයියෙ ඔයා බැදලානම් මාත් එක්ක එහෙම හිටියෙ. ඇයි මට මෙහෙම කලේ".......
එයට පිළිතුරක් දෙනවා මා හට ඇසුනේ නැති මුත් එදා සිද්ධියෙන් දින කිහිපයකට පසුව සිට අක්කාව කමියුනිකේෂන් එක තුල දැකිය නොහැකි විය.
"අක්කා නැද්ද අයියෙ" යැයි මා ඇසූ පැනයට පිළිතුර වූයේ ඈට ගෙවල් අසලින් ජොබ් එකක් ලැබුනු බවත්, ඒ නිසා ඈ අස් වී ගිය බවත්ය.
තවත් මසකට පමණ පසු කමියුනිකේෂන් එක සම්පූර්ණයෙන් වසා දමා තිබූ අතර මා එය දින දෙක තුනක්ම වසා දමා ඇති බැවින් අල්ලපු බැටරි කඩයෙන් විමසූ අතර මා හට ලැබුනු පිළිතුරින් කතාවේ මා නොදැන සිටි 10%ද දැනගත හැකි විය.
"මල්ලි ඕකාගෙයි ඔය කඩේ හිටපු නංගිගෙයි හුටපටයක් තිබිලා. කෙල්ලගෙන් ගන්න ඕනෙ හැමදේම අරගෙන මූ කෙල්ලව කඩෙන් අස් කලා. කෙල්ල පොලීසි ගියා මූ බැදලා කියලා කියන්නෙ නැතුව කෙල්ලව රැවැට්ටුවා කියලා.මූගෙ ගෑනිටත් කේස් එක මාට්ටු. මූට අන්තිමට කඩේ වහන්න උනා. පිස්සු #%$*# ඌ."

කුරුණෑගල සිට කොළඹ පැමිණ රස්සාවක් කර කොළඹින් මට්ටු වූ ඈ දැන් බඩුවකි. වරද කාගෙද?
ඇගේද?
නැත.
මා වසර 4කට පමණ පෙර හොදින් දැන සිටි ගුණයහපත්, නිවසට ආලෝකයක් වූ ඈ අද බඩුවකි. ඇගේ වරද වන්නේ වැරදි පුද්ගලයෙකුව විශ්වාස කිරීම පමණි.
ඈ අද බඩුවකි. නමුත් ඇයද පිරිමියෙකු විශ්වාස කර පතිවත පිදූ එක් යුවතියක් පමණි. එය ඇගේ ජීවිතය සදහටම වෙනස් කර ඇත.

නම් ගම් මනකල්පිතයි.

මනෝජ් ගුණවර්ධන.
28-10-2016

No comments:

Post a Comment