Tuesday, July 5, 2016

සෙව්වන්දි


ඈ මියගියේ මාගේ වරදිනි. ගෙවෙනා හැම මොහොතක් මොහොතක් පාසාම ඈගේ මතකය මාගේ සිතතුල රිදුම් දෙයි. දින හතකට පෙර මා ඇය හට පැවසූ දේ ඇගේ ජීවිතය උදුරාගනීවි යැයි මා සිතුවේ නැත.
"සෙව්වන්දි, ඔයා අද වැඩට යන්න එපා පණ."
"ඇයි අයියෙ එකපාරටම?"
"අද පාන්දර මම මහ නරක හීනයක් දැක්කා නංගි. ඒ නිසා අදට විතරක් ඔයා ගෙදර ඉන්න. ප්ලීස්"
"අයියෙ අද මම ගියෙ නැත්නම් ඔෆිස් එකේ වැඩ ගොඩගැහෙනවා. එතකොට හෙට මට වැඩ කන්දක් කරන්න වෙනවා අයියෙ. ඔයා ඒක දන්නවනෙ මගෙ සුදු අයියෙ."
"ඒ උනාට කමක් නෑ නංගි. මම කියන හින්දා අදට විතරක් ගෙදර ඉන්න."
"අනේ අයියෙ...... ඔයා මොකක්ද දැක්ක හීනෙ? හීනවලට බයවෙලා බෑනෙ සුදු අයියෙ."
"මම දැක්කා ඔයා බස් එකෙන් බැහැලා පාර අයිනෙන් යද්දි වෑන් එකකට ඔයාව හැප්පෙනවා. ඔයාගෙ සාරිය පුරාම ලේ තිබ්බා. මම එතනට ඇවිත් කෑගගහා ඔයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහන නවත්තන්න හැදුවා. ඒත් එක වාහනයක්වත් නැවැත්තුවෙ නෑ"
"හි හි. අයියෝ ඕකද අනේ හීනෙ. මැරෙන්න තියෙනවානම් අපි කොහොම කලත් මැරෙනවා. ඔයා බය වෙන්න එපා සුදු අයියෙ මම පරිස්සමෙන් ගිහින් එන්නම්" යනුවෙන් සෙව්වන්දි පැවසූ පසු, මා හට පැමිණි කේන්තිය ඉවසාගත නොහැකි විය.
"යන්නම ඕනෙනම් යනවා. මට වඩා ජොබ් එක ලොකුයිනෙ. ඉතින් යනවා" කියූ මා දුරකථනය විසන්ධි කලේ තවත් කතාකලහොත් මා ඇයට තවත් බණිනා බැවිනි.
අනතුරුව ඇගෙන් එක දිගට මා වෙත ඇමතුම් ගලා ආ නමුත් ඒ එකදු ඇමතුමක් සදහාවත් මා ප්‍රතිචාර නොදැක්වූයේ මා සතුව තිබූ කේන්තිය නිසාවෙනි.
අනතුරුව ඇගෙන් මා වෙත කෙටි පණිවිඩයක් ලැබුනේ මාගේ කේන්තිය නැමති ගින්නට වතුර ගසා කේන්තිය නිමමින්‍ ය.
"තරහද මගෙ සුදු අයියෙ? අයියා දන්නවනෙ අයියා එක්ක තරහා වෙලා මට ඉන්න බෑ කියලා. මම අද ගෙදර ඉන්නම්. අයියා පැටියා දැන්වත් මාත් එක්ක යාලු වෙන්නකො. උදේ පාන්දර කේන්ති අරන් වැඩට යන්න එපා අයියා බබෝ."
ඇගේ එම කෙටි පණිවිඩය ලද පසු මා ඇය වෙත දුරකථන ඇමතුමක් ලබාගත් අතර ඒ කතා කල විනාඩි 10 අප ජීවිතයේ කතා කරන ලද අවසාන වතාව විය.
ඈ හා කතාකල පසු මා වැඩට ගියේ සිතේ තිබූ කේන්තිය සිනහවක් බවට පෙරලාගෙනය.
දවල් 12 පමණ වනවිට මගේ දුරකථනය නාද වූයේ සෙව්වන්දිගේ පියාගේ දුරකතනයෙන් ඇමතුමක් ඇති බව කියමිනි. මම එයට පිළිතුරු දීම සදහා දුරකථනය කනේ තබාගත්තා මා හට මතකය. ඉතුරු සියල්ලම සිහිනයක් මෙනි.
"පුතේ...... පොඩි දූට කරන්ට් එක වැදිලා. අම්මා එයාව ඉස්පිරිතාලෙට අරන් යනවාලු. අනේ පුතේ ඉක්මනට එන්න. අනේ පුතේ මගේ දුවට මොනා හරි වෙලානම් මම ඉදලා වැඩක් නෑ. මම ඉස්පිරිතාලෙට යන ගමන් පුතේ. අනේ ඉක්මනට එන්න." යනුවෙන් වූ වදන් ඇසූ මාගේ දෑස් දෙකම එකවර අදුරු වී ඔලුව කැරකෙන්නාක් මෙන් විය. වාඩි වී සිටි පුටුවේම වාඩි වී "තිසල්...." යනුවෙන් අමාරුවෙන් මා හඩ නැගුවෙමි.
"මොකද මනෝජයා" කියමින් ඌ මා වෙත එන විටත් මාගේ දෑසින් මොර සූරන වැස්සක් සේ කදුලු කඩා හැලෙන්නට පටන් ගෙන අවසානය. පපුව වේගයෙන් හැගෙනා අතර කදුලු අතරින් ඉකිබිදුමක් ඉබේම පිටවිය.
"මොකෝ මනා උනේ, මොකක්ද කේස් එක?" යනුවෙන් තිසල් අසනවා මා හට සිහිනෙන් මෙන් මතකය. වැටෙනා කදුලු අතරින් ඉකිබිදිමින් සිදුවූ දේ ඌ වෙත මා කියනා විට මුලු ඔෆිස් එකේම උන් මා වටකරගෙන අවසානය.
"වරෙන් යන්න. අපි දැන්ම යන්. මොකක්ද ඉස්පිරිතාලෙ?" යනුවෙන් තිසල් අසමින් මාව පුටුවෙන් අදින්නට විය.
"තිසල් මගෙ කාර් එකේ පලයන්. ඉක්මනට පලයන්. මොකක් හරි ඕනෙනම් ටක් ගාලා කෝල් කරපන්" කියූ මැනේජර් ජගත් අයියා ඔහුගේ කාර් එකේ යතුර තිසල්ට දුන්නා මා දුටුවෙමි. මා කෙසේ කාර් එකට නැග්ගාදවත් මා හට මතක නැත.
සෙව්වන්දිගේ පියා ඒ වන විටත් ඉස්පිරිතාලෙට ගොස් සිටි නමුත් ඔහු කිසිවක් මා හට දුරකථනයෙන් පැවසුයේ නැත. මා මග දිගටම "සෙව්වන්දිට කොහොමද මාමෙ" යනුවෙන් ඇසූ නමුත් ඔහු අඩනා හඩ මිස වෙන කිසිවක් මා හට ඇසුනේ නැත.
ඉස්පිරිතාලෙට ගිය පසු මා හිත තුල සැගවී තිබූ සැකය තහවුරු වූයේ සෙව්වන්දිගේ මවගේ මුවන් පිටවූ වදනිනි.
ඈ මා අතහැර යන්නම ගොසිනි.
එය දැනගත් පසු මාගේ පපුව හිරවී එකවරම දෑස් නිලන්කාරවී ගියේය. නැවතත් මා අවදිවන විට මා කොරිඩේවේ වූ පුටුවේ හාන්සිකර සිටියේය. නර්ස් කෙනෙකු පැමින මා හට සිහිය ගෙන තිබූ අතර ඈ මොන මොනවාදෝ මා හට කියු නමුත් ඒ කිසිවක් මට ඇසුනේ නැත.
මගේ මුවින් දිගටම පිටවූයේ "මම සෙව්වන්දිව මරාගත්තා.... මම එයාව මරාගත්තා" යනුවෙනි. සෙවුවන්දිගේ පියා පැමිණ මා සනසවන්නට උත්සහ කල නමුත් ඒ කිසිවෙකුටත් මාගේ කදුලුවත් ඉකිබිදුමවත් නැවතීමට නොහැකිවිය.
ගතවූ දවස් 7 තුලම මා හැමෝටම පැවසූයේ "මා සෙව්වන්දීව මරාගත් බවයි". ඒත් ඒ කිසිවෙක් මා හට කිසිවක් නොකීම මා හට දරාගත නොහැක. ඔවුන් සියල්ලන්ම කියන්නේ මගේ වරදක් නොමැති බවයි. අඩුම තරමින් සෙව්වන්දීගේ මව හෝ පියාවත් මා හට වචනෙකින් හෝ බැණ්නේ නැති එක මාගේ වේදනාව දෙගුණ තෙගුණ කරවිය.
අද දවල් ඇගේ හත් දවසේ දානය තිබුණි. ඇය සමුගෙන අදට දින හතක් ගෙවුනද මාගේ සිතෙන් ඈ කිසිදු දිනෙක සමු ගත්තේ නැත.
මන් අද ඔයා ලගට එනවා සෙව්වන්දි. මට ඔයා නැතිව ජීවිතයක් නෑ. ඔයාගෙ දානෙ වැඩටිකත් ඉවරයි. මන් දන්නවා ඔයා කොහෙ හිටියත් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් මම ඔයාලගෙ ගෙදරින් දවල්ට කාලා නිදි පෙති 40ක් බීපු එක ඔයාට නවත්තන්න බැරි උනා. මම දැන් 154 බස් එකේ නැගලා අලුත් පාලම ලගට යන ගමන්. මට දැනටමත් ඔලුව උස්සන් ඉන්න පණ නෑ මගෙ සෙව්වන්දියො. මම පාලම ගාවට ගියාට පස්සෙ ඔයා ලගට එනවා මගෙ පණ. මම ඔයාට හැමදාමත් ආදරෙයි. කිසිම කෙනෙක්ට අපේ ආදරේ වෙන් කරන්න බෑ. අපි මැරුනත් මරණෙටවත් බෑ අපිව වෙන් කරන්න. තව ටික වෙලාවයි ඔයාට තනියම ඉන්න වෙන්නෙ මගෙ පණ. මම එනවා ඔයාගෙ තනියට.

Saturday, July 2, 2016

ජීවිතේ හැටි part 3

පෙර කොටස හා සම්බන්ධය.....
පසුවදා උදෑසන ගෙදරින් ආ වෙලාවේ මා ඇහැරී තිබුන නමුදු එය මා හට හරිහමන් මතකයක් නැත. නැවතත් උදෑසන 8ට පමණ නර්ස්ලා ලේ ගන්නවා නම් මතකය. එකල සිදුවූ දෑ පිළිබද මාගේ මතකය තෙල් සායම් චිත්‍රයක් මෙනි. සමහර තැන් පැහැදිලි නමුදු තවත් සමහර තැන් බොද වී ගොසිනි.
උදේට කෑවාද, දවල්ට කෑවාද, මා බැලීමට කවුරුන් ආවාද යන්න මට මතක නැත.
කෙසේ හෝ එදින හවස්වන විට මා හට දැනගන්නට ලැබුනේ මා හට සෑදී ඇත්තේ සාමාන්‍ය ෆිට් එකක් බවත් එබැවින් ටිකට් කපා මා හට ගෙදර යා හැකිබවත්‍ ය.
වාට්ටුවේ සිටි සියලුම ඩොක්ටස්ලා මා පරික්ෂාකර බලා අවසානයේ තීරණය කර ඇත්තේ එයයි. එබැවින් එදින, එනම් අගෝස්තු 24වැනි දින සවස් යාමය වන විට මා ඩිස්චාර්ජ් කරන ලදී. තවද CT scan එකක් කිරිම සදහා මා හට සැප්තැම්බර් මස 12 හෝ 15 යන දිනයක් ලබා දුන්බවද මා හට මතකය. ෆිට් එකට ලබා දෙන රෝස පැහැති පෙත්ත පමණක් මා හට ලබා දී එලෙස රාගම රෝහලෙන් මා පිටමන් කරන ලදී.(ඔන්න ඉස්පිරිතාල. මැරෙන්න ලංවුනත්, ලෙඩෙක්ව නම් රාගමට අරගෙන යන්න එපා)
කෙසේ හෝ ඒ වන විට මාව එක්ක යාමට පැමිණි කවුරුන් හෝ සමග මා ගෙදර පැමිනියෙමු.
ඉන්පසුව මා ඉස්පිරිතාලෙ යැයි දන්නා සියල්ලන්ටම මම ගෙදර පැමිණි බව දන්වා මැසේජ් කොටන්නට පටන් ගතිමි. කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යනවා මට නොතේරුන අතර රාත්‍රියද උදාවූයේ එය තවත් එක් රාත්‍රියක් පමණක් නොවන බව මා සිහිනෙන්වත් නොසිතා සිටි අතරේය. රාත්‍රී ආහාරය ගෙන මා ඇදට වැටුනේ මැසේජ්වලටද පැමිණි දුරකතන ඇමතුම්වලටද පිළිතුරු දෙමිනි. ඒ මැසේජ් අතර මා හට අදටත් අමතක නොවන "මගේ ආදරයේ අහිමි වූ සුරංගනාවිය" එවන ලද ඒවාද විය. ඒ වන විට ඇය මා දමා ගොස් අවුරුදු එකයි මාස 3ක් වූ නමුදු මා හට සිදුවූ කරදරය ඇයට මා පැවසූ විගස මාගේ සුවදුක් විමසීමට තරම් අපගේ ආදරය ශක්තිමත් එකක් විය.
යාලුවන්ටද, වැඩපලේ මැනේජර්ටද ආදී වශයෙන් ඉන්නා සියල්ලන්ටම පණිවිඩ ලබා දෙන විට කෙමින් කෙමින් නිදිමත මා වටකර ගන්නට විය. පසුව ෆෝන් එක සයිලන්ට් දමා මා නිදා ගත්තේ පසුදිනද ගෙදරට වී විවේකයෙන් සිටින අදහසිනි. නමුත් පසුදින වනවිට ඒ අදහස අහසේ තැනූ මාලිගාවක් මෙන් සුනු විසුනු වී ගියේය.
පසුදින පාන්දර 9ට පමණ මට නින්දෙන් නැගිටින්නට සිදුවූයේ ලගම සිටින මිතුරන්ට හෙන ගසන්නටය. නුවන්ගේ ත්‍රීවිල් එකේ ඌත් සමගින් ශශියාද කුෂානයාද මා මරාගෙන කෑමට උදේ පාන්දරම කාමරේට සැපත් වී ඇත. ඉදලා ඉදලා වැඩට නොගිහින් නිදාගන්න තියෙන දවසත් මේ කාලකන්නි ටික ඇවිත් කෙලෙවුවා.
"නැගිටපිය යකෝ, කුම්බකරනයා වගේ නිදි. වෙලාව බලපිය දැන් 9ත් පාස් වෙලා. වරෙන් මූණ හෝදලා කාලා බීලා වටයක් ගහන්න යන්න" යනුවෙන් කියමින් නුවනයා මා අල්ලා සෙලවන විට ලෝකෙම හෙල්ලෙනවා දෝ යැයි මා හට සිතුනි.
කෙමින් කෙමින් නිදිගැට කඩමින් ලිද ලගට ගොස් ඇග සෝදා ගත් මා පාන් කෑල්ලකට වග කියා නුවනයාගේ ත්‍රීවිල් එකට නැගුනේ "ඕන රෙද්දක පලයන් දැන්" කියමිනි.
තවත් විනාඩි 2කින් අපි කුෂානයාගේ ගෙදරට සම්ප්‍රාප්ත උනු අතර ත්‍රීවිල් එකෙන් බැස්ස අපි උන්ගේ වත්තට වී කයියක් ගහන්නට විය.
කුෂානයාගේ වත්තේ පොඩි තාප්ප කෑල්ලක් වූ අතර එයින් පහල වූ‍යේ වත්තේ පහල කොටසයි. තාප්පයට එහා පසින් පඩිපෙලක් බැස පහලට යා හැකි අතර මා පඩිපෙල අසල වූ තාප්ප කෑල්ලේ වාඩි වී අනිත් උන් තිදෙනා සමග කියවන්නට විය.
ටික වෙලාවකින් මා තාප්පයෙන් පහල බැලූ අතර මා හට කියාගන්නට බැරි අමුත්තක් දැනුනේ විගසිනි. වහාම මා ඇස් දෙක ඉවතට ගත් අතර මාගේ මනස පුරා විවිධ දෑ දිව යන්නට විය. ඒ කිසිවක් මා හට පාලනය කිරීමට නොහැකි වූ අතර ඒ සියල්ලම වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් සංකීර්ණ ඒවා විය. එය ඔලුව රිදීමක්ම පමණක් නොව එය ඔලුව පුරා විවිධ දෑ එකවර දිව යාමක් වැනිය. "චොකලට්" යන්න සිතනා විට මනසේ චොකලට් එකක රුව ඇදෙනවාක් මෙන් මෙහිදී මා හට දරා ගැනීමට නොහැකි ලෙස විවිධ දේ මනස හරහා දිවගියේ ක්ෂණිකවය. එයට තත්පර 5ක් වත් ගත වූයේ නැති අතර මා එය ඉවසීමට බැරිම වූ විට දෑස පියා ගතිමි.
"මනා........" ආදී වශයෙන් නොයෙක් දේවල් නුවන්,කුෂාන් හා ශෂි මා අසලට පැමිණ කියූ නමුදු ඒ කිසිවක් මා හට ඇසුනේ නැත. තත්පර 15ක් පමණ ගතවන විට මා දෑස විවර කල අතර මා හට දෑස වපරව ඇති බවක් හැගුනි.
"නුවන් බලපන් මගෙ ඇස් දෙක දිහා..... නුවන්...... බලපන් බලපන් මගෙ ඇස් දෙක. ඇස් දෙකේ කලු බෝලෙ අයිනට ගිහින්ද? කියපන් කියපන්" යනුවෙන් මා කෑ ගසන්නට විය.
"ඔව් ඔව් මනා ඇස් දෙකේ කලු බෝලේ අයිනට ගිහින්" යනුවෙන් නුවන් කියූ විගසින් මා නැවතත් දෑස වසාගෙන ඉන්නා තැනම බිම බොරලු පොලවේ නිදාගතිමි.
"නුවන් මට බයයි ආයිත් ෆිට් එක හැදෙයි කියලා මම බිම මෙහෙම ඉන්නම්. මට හිටන් ඉන්න බෑ ඔලුව කැරකෙනවා. මොකක් හරි උනොත් ඉස්පිරිතාලෙ අරන් පලයන්" යනුවෙන් මා කියනවා මා හට අවසානයට මතකය.
මතු සම්බන්ධයි.

Friday, July 1, 2016

ජීවිතේ හැටි part 2


පෙර කොටස හා සම්බන්ධය.
........ නැවතත් මා අවදිවන විට ට්‍රොලියක සිටි අතර රෝහල් කොරිඩෝවක් දිගේ ගෙන යනවා මා හට සිහිනෙන් මෙන් මතකය. බීප් බීප් හඩ වරින් වර ඇසුන අතර කටට ඔක්සිජන් ලබාදී තිබූ බවද අඩවන් වූ දෑසින් දැකගත හැකිවිය. දෑස විවර කිරීමට උත්සහ කල නමුත් ඒ සදහාද ශක්තියක් තිබුනේ නැත. නැවතත් මා දෑස් පියවුනි.
......
සවස ලෙඩුන් බලන වේලාවේදී ගෙදරින් පැමිණ තිබූ නමුත් මා ඔවුන්ටද කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත. "ලොකු පුතේ, ලොකු පුතේ" යනුවෙන් මා අමතා මාව නැගිට්ටවීමට ඔවුන් දැඩි උත්සහයක් ගෙන තිබූ අතර පසුව එය නර්ස් කෙනෙක් දැක "පුතාට පාඩුවෙ ඉන්න දෙන්න අම්මෙ, එයා නැගිටිනකම්ම ඉන්න ඕනෙ. කියන විදියට එයාට ලොකු ෆිට් දෙකක් ඇවිත් තියෙන්නෙ. ඉතින් එයාට මේ වෙලාවෙ විවේකය අවශ්‍යයි. එයා දුර්වලයි. අපි සේලයින් දුන්නා. කෑම බීම දෙන්න ඕනෙ නෑ. අපිට එවද්දිත් එයාට දීපු සේලයින් එකට විටමින් add කරලා. අපිත් සේලයින් දුන්නා විටමින් එක්ක. අනික එයාට දීලා තියෙන බෙහෙත්වලට නිදිමතත් එනවා. ඉතින් අම්මෙ අම්මා බයවෙන්න එපා. පුතා ඉන්නෙ ඉස්පිරිතාලෙනෙ." කියා උපදෙසක් දී ඇත. පසුව ඒ උපදෙස් පිළිගත් අපේ පවුලේ අය මා බලා ගෙදර බලා පිටත් වී ඇත.
.......
වෙලාව රාත්‍රී 7ට පමණ වන්නට ඇත.මාහට මුලින්ම ඇසුනේ බීප් බීප් හඩයි. මා ටිකෙන් ටික දෑස් විවර කරන්නට විය. තවත් විනාඩි දහයක් පමණ උත්සහ කර දෑස සම්පූර්ණයෙන්ම විවරකර ගත්තේ සිදුවූයේ කුමක්ද යන්න වටහා ගැනීමට උත්සහ කරන අතරතුරය. අතේ මහපට ඇගිල්ලට මොකක්දෝ කෑල්ලක් ගසා තිබූ අතර අනිත් අතට ගැසූ සේලයින් කට්ටට තවමත් සේලයින් බෝතලයක් සවිකර ඇති බව දැක ගත හැකි විය.උකුසු ඇස් ඇති නර්ස් කෙනෙකුට මා අවදි වී ඇති බව පෙනීමට ඒ ටික ප්‍රමාණවත් විය. තවත් විනාඩි 5ක් ගතවීමට මත්තෙන් ඩොක්ටර් කෙනෙකු හා නර්ස් කෙනෙකු මා ඇද අසලය.
"මනෝජ් නේද?"
"ඔව් ඩොක්ටර්"
"කිරිබත්ගොඩින් ඔයාව මෙහෙට එවලා තිබ්බෙ ඔයාට ලොකු ෆිට් දෙකක් හැදුනා කියලා. ඔයාට කියන්න පුලුවන්ද කොහොමද ඒක හැදුනෙ කියලා?"
"ඩොක්ට මට පළවෙනි එක විතරයි මතක. දෙවෙනි එක මතක නෑ ඩොක්ට." කියා ඩොක්ටට පළමු ෆිට් එකේ විස්තරේ ඉක්මනින්ම කියා අවසන් කලේය. ඉන් පසුව ඩොක්ට විනාඩි 15ක් පමණ මාව චෙක් කර තවත් ප්‍රශ්ණ අසා යන්නට ගියේය.
........
නැවතත් මා නින්දට වැටුනි. අඩ නින්දේදී මා ඇහැරුනේ සාක්කුවේ තිබූ පොඩි ෆෝන් එක දෙදරුම් කන්නට වූ බැවිනි. 'ඇයි මල්ලි මේක ගෙදර ගෙනිච්චෙ නැත්තෙ' යනුවෙන් සිතමින් මා ෆෝන් එක නිදිමරගාතේ උස්සා කනේ තබා ගත්තෙමි.
"අඩෝ උඹ මොන ඇදේද ඉන්නෙ?"
"කවුද බන් මේ"
"සුදමයා යකෝ. තොට නම කියෝගන්නත් බැරිද?. මම ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නෙ."
"මේ මහ රෑ?. මම හිතන්නෙ නෑ උඹට එන්න දෙයි කියලා."
"උඹට ඒවා වැඩක් නෑනෙ. ඇද කියපන්කො. මල්ලිගෙන් මම වාට්ටුව අහගත්තා."
"14 වෙනි ඇදේ."
"හරි මම විනාඩි 5න් ඔතන." කියූ සුදමයා ෆෝන් එක කට් කරන ලදී.
තවත් ටික වෙලාවකින් සුදම් මා ඇද අසලය. මා හිටි හැටි දැක පුදුම වී උගෙ ඇහිබැමි උඩයනවා මා හට සිහිනෙන් මෙන් මතකය.
මා හා ටික වේලාවක් කතා කල ඌ "මම එහෙනම් ගිහින් එන්නම්. උඹට හොදවෙයි." යනුවෙන් පවසා එතනින් මාරුවිය.
ඉන් පසුව මා නිදා ගත්තේ 'හෙට දින කුමක් සිදුවේද' යන්න හිත තුල ප්‍රශ්න කරනා විටය.
..........
මතු සම්බන්ධයි.

ජීවිතේ හැටි part 1


එදා අගෝස්තු විසිතුන් වැනි ඉරුදිනය.
එදත් උදෑසනින්ම නැගිට තේක බී නැවතත් නින්දට නොගොස් මූණකට සෝදා දත් මැද නා ගැනීමට මා පෙළඹුනේ ඇයිදැයි මා අදටත් කල්පනා කරමින් සිටියි. 
මන්ද යත් සෑම ඉරු දිනකම 8.30ට පන්ති පටන් ගන්නා අතර මා සෑමදාම ගෙදරින් රේස් අස්සයා පිට නැගී පන්තියට පිටත් වන්නේ 8.20ත් 8.40ත් අතරය. එදා උදෑසනින්ම වෙවුල වෙවුල නා ලෑස්ති වී 8ට පමණ ගෙදරින් පිටත් වූ මා 8.15ට පමණ පන්තියට පැමිණ වාඩි වූයේ පන්තියේ උන් ඇස් ලොකුකරගෙන මා දිහා බලනා අතරතුරය. සමහරවිට උන් හිතන්න ඇති අද මාව ගෙදරින් එලෙවුවා කියලා.  'නැත්නම් හැමදාම පන්ති පටන් ගත්තම පන්තියට එන එකා වේලාසනින් එන්න විදියක් නෑ.'
.......
වේලාසනින් ගොස් කරන්නට දෙයක් නොතිබූ හෙයින් අල්ලපු පුටුවේ සිටි අනුෂ්කයාව කතාවකට අල්ලා ගත් නමුත් ටික වේලාවකින් ඒකද එපාවිය. පසුව දැනගත් පරිදි ඒ වනවිට වෙලාව 8.25ට පමණ වන්නට ඇත.
එකවරම මාගේ ඇස් දෙකේ කලු බෝලය දකුණු කෙලවරට ගිය අතර මාගේ බෙල්ල සම්පූර්ණයෙන් දකුණට හැරිණි. ඔලුව පුරා කියාගැනීමට නොහැකි තරම් වේදනාවක් දැනුන අතර මුලු ඇගම සෙලවීමට හෝ කතා කිරීමට නොහැකි ලෙසින් ඇගම ගල් විය. මාගේ දකුණු පසින් මා සමග කතා කරමින් සිටි අනුෂ්ක එය හොදින් දුටු මුත් මා කරනා විහිලුත් සමග ඌ එයද විහිලුවක් ලෙසින් දැක "මනෝජ් විහිලු කරන්න එපා බන්" යනුවෙන් පවසනවා මා හට ඇසිනි. නැවතත් එයම ඌ කීවේ මා කිසිදු වෙනසක් සිදු නොකල හෙයින් විය හැක. ඒ සියල්ලටම තත්පර 8ක් 10ක් පමණ ගතවන්නට ඇත. මට මතක එපමණය.
.......
නැවතත් සිහි එළඹෙන විට මා සිටියේ රෝහලක ඇදක් මතය. ඇටෙන්ඩන්ට් අක්කා කෙනෙක් පැමිණ "මල්ලි සදරුගෙ යාලුවෙක් නේද. එයා පන්තියට ගියා. ඔයාට සිහිය ආවම කෝල් එකක් දෙන්න කිවුවා." කියා ඇගේ දුරකතනයෙන් ඇමතුමක් ගෙන මොන මොනාදෝ කතා කර මට "මල්ලි සදරු කතා කරනවා" කියලා මගෙ කනෙන් ෆෝන් එක තිබ්බා. සදරුවා එහා පැත්තෙන් මොන මොනාදෝ කීව නමුත් ඒ කිසිවක් මට නොතේරුන අතර මම හැම එකටම "ම්ම්ම්ම්ම්" ගගා සිටියේය. 
පසුව අක්කා ෆෝන් එක ගෙන කතාකලේ මා සිටි තත්වය ඈ අවබෝධ කරගෙනය. ෆෝන් එක කට් කර මා ලගට විත් "මල්ලි නිදාගන්නකො තව ටිකක්. එතකොට ඔය ගතිය මගෑරෙයි" කියා සේලයින් අඩු වැඩි කරන එකේ මොනාදෝ කර යන්නට ගිය අතර මා අනිත් පසට හැරී නිදාගත්තේය.
......
දවල් අම්මලා ඇවිත් තිබූ අතර මා හට එය මතකයේ නොමැති අතර ඒ වෙලේ මා හට කිරි පැකට් එකක් පොවා ඇති අතර පසුව මා හට වමනෙ යාමට එන බව මා අසල සිටි මල්ලිට කියුවේ අතේ සේලයින් ගසා ඇති බැවිනි.අනතුරුව නර්ස් කෙනෙක් පැමිණ කටුව ගැලවූ අතර මා මල්ලීගේ වාරුවෙන් වමනෙ දැමීමට තැනක් සොයමින් යනවිට මල්ලී මාව වැසිකිලියට රැගෙන ගියේය. විනාඩියක් පමණ සිටි නමුත් වමනෙ එන පාටක් නැත. බලෙන් වමනෙ කරන්නට try කරන්නට සූදානම් වන විට "අයියෙ අයියගෙ යාලුවො වගයක් ඇවිත්" කියා මල්ලි මට කතා කලේය.
නැවතත් මල්ලිගෙ වාරුවෙන් රෝහල් කොරිඩෝව දිගේ යාලුවන් සිටි දෙසට ගියේ සිහිනෙන් මෙනි. ඉන්පසුව යාලුවන් සමග කතාකරනවා වෙනුවට ඔවුන්ගේ එක් නියෝජිතයෙකු සමග කතාකර මා නැවතත් ඇදට ගොස් ඇත.    
.......
ඇදට ගිය මා මල්ලිගෙන් ඇහුවේ "මේ මොන ඉස්පිරිතාලෙද?" යනුවෙනි. "මේ කිරිබත්ගොඩ ඉස්පිරිතාලෙ" යන පිළිතුරෙන් සෑහීමට පත් වූ මා "එහෙනම් මගෙ ෆෝන් එකේ චාර්ජින් පොට් එක හදන් එනවා. මගෙ පර්ස් එකේ සල්ලි ඇති, සුදම්ට කෝල් එකක් දෙනවා. දීලා විස්තරේ කියනවා." කියා මල්ලිව පිටත් කර නින්දට වැටුනි. එලෙස නිදාගෙන පැය බාගයක් පමණ මා සිටින්නට ඇත.
එකවරම මා නින්දෙන් ඇහැරිනි. ඔලුව පුරා තද වේදනාවක් දැනෙන්නට පටන් ගන්නවාත් සමගම මගෙ බෙල්ලත් ඇස් දෙකත් දකුණට ගොස් මා දගලන්නට විය.
එලෙස තත්පර 10ක් ගතවනවා පමණක් මා හට මතකය.
........
මතු සම්බන්දයි.

මැටි කලය


හුගාක් කාලෙකට කලින් මම පුංචි මැටි කලයකට සතයක් දැම්මා. සමහරදාට සත පහ, දහය වගේම සත පනහෙ කාසිත් ඒකට දැම්මා.
ඒ අතරෙ මටත් හොරෙන් මමම ඒකෙන් පුංචි ගානක් හොරකම් කරපු අවස්ථාත් තිබුනා. කොහොම උනත් කාලයක් ගතවෙද්දි ඒ පුංචි මැටි කලේ මටත් නොදැනිම පිරෙන්න පටන් අරන් තිබුනා.
එක දවසක් මට අසනීප උනා. දොස්තර මහත්තයා කිවුවෙ ගොඩක් ඉක්මනට මට මොළේ සැත්කමක් කරන්න ඕනෙ කියලා. ඒකට ලොකු ගානක් ඕනෙ කියලාත් එයා කිවුවා.
එදා මට මුලින්ම මතක් උනේ මම කාලයක් තිස්සෙ සල්ලි එකතු කරපු කලය ගැන. මම ඒකෙ තිබ්බ සල්ලි සේරම බිමට හැලුවා. ඒ පුංචි කලය ඇතුලෙ මාව බේරගන්න සල්ලි ගොඩක් තිබ්බා. ඒ සල්ලි සේරම මම වියදම් කලා. මම සනීප උනා.
ඒත් දැන් මම ඉතුරුකරපු සල්ලි සේරම ඉවරයි. ඉස්සරහට මට වියදම්කරන්න අතේ සතයක් නෑ.
ඒත් මම ආයෙත් ඒ පුංචි මැටි කලේ පුරවනවා. ඒත් කවදාවත් මට ඒක පුරවන්න වෙන්නෙ නෑ. ඒක පිරෙනවා වෙනුවට කලය ලොකුවෙන එකයි හැමදාම වෙන්නෙ. මොකද ඒ කලයට පිරෙවුවෙ මම කරපු ‪#‎පින්‬. මම කරපු පින් සේරම ඒ කලයට සතෙන් සතේ මම එකතුකලේ. ඒ පින් නිසයි එදා මට මනුස්සකම පිරුනු මිනිසුන් හම්බවුනේ. ඒ මිනිස්සු නැත්නම් අද මම එක්කො පැරලයිස් වෙලා. නැත්නම් තාමත් ඉස්පිරිතාලෙක.
මම කරපු හොද පොඩ්ඩක් හරි තියෙන නිසයි අද මම මෙහෙම ඉන්නෙ.
පුලුවන් තරම් හොද දේවල් කරන්න බලන්න. අන්තිමේදි අපිට ඉතුරුවෙන්නෙ ඒවා විතරයි. ජීවිතේ හිතන තරම් සුන්දර නෑ.

දියඹ


මේක හුගාක් කාලෙකෙට කලින් උන කතාවක්. එදා මම යාලුවොත් එක්ක මුහුදෙ ඔරු පදින්න ගියා. ටික වෙලාවකින් අහස කලුකරගෙන වැස්සක් වහින්න පටන් ගත්තා. ඒ අස්සෙ මගේ ඔරුව දියවැලකට අහුවෙලා දියඹට ගහගෙන යන්න වුනා. මගේ පස්සෙන් සමහර යාලුවො එයාලගෙ ඔරුව පැදන් එන්න හැදුවත් වැඩක් උනේ නෑ. කුණාටුවක් හමන්න පටන් ගත්තා. එයාලට එයාලගෙ ඔරුවවත් පාලනය කරගන්න බැරි උනා.
ටික වෙලාවකින් ඉමක් කොනක් නොපෙනෙන සාගරේ මහ සැඩ රළ මැද්දෙ මම අතරමං උනා. ඒ සැඩ රළපහරවල්වලට මගේ ඔරුව පෙරලුනා. ගොඩබිම තියෙන්නෙ කොයි පැත්තෙද කියලාවත් මට හිතාගන්න බැරි උනා. මගේ හිතේ තිබ්බ අන්තිම ධෛර්යය බින්දුව වෙනකම්ම මම පීනුවා. මගේ අතපයවල තියෙන අන්තිම ශක්තියත් ඉවරවෙනකම් මම පීනුවා. අන්තිමට ජීවිතේ ගැන තිබ්බ බලාපොරොත්තුව අතාරින්න මම තීරණය කලා.
ඒත් එක්කම මම හිටපු පැත්තට ලොකු එළියක් ගහගෙන බෝට්ටුවක් එනවා පෙනුනා. ඒත් මට තවත් අල්ලගෙන ඉන්න තරම් ඇගට පණක් තිබ්බෙ නෑ. මාව ගිලෙන්න ගත්තා........
මට සිහිය එනකොට මම හිටියෙ ලොකු ටෝලර් එකක. ඒක එලෙවුවෙ මගෙ යාලුවෙක්. මගෙ වටේට තවත් යාලුවො 3ක් 4ක් හිටියා. එක්කෙනෙක් මනෝජ්ව බේරගත්තා කියලා අනිත් බෝට්ටුවලට පණිවිඩ යව යව හිටියෙ. මම ගොඩබිමට එද්දි මාත් එක්ක ඔරු පැදපු සමහර යාලුවො වෙරළෙ ඉදන් බලන් හිටියා. ටෝලර් එකේ ඉදාන් මාව වෙරළට උස්සන් යද්දි "මූ මැරිලද" කියලාත් සමහරු ඇහුවා......
ටික වෙලාවකින් අනිත් බෝට්ටුවලින් මාව හොයන්න ගිය අයත් ආවා. එතනින් සමහරු මම ජීවිතේට නොදැකපු අය. සමහරු මගෙ යාලුවන්ගෙ යාලුවො. සමහරු මම දවසක් දෙකක් විතරක් කතා කල යාලුවො. එතන මාත් එක්ක ඔරු පැද්ද සමහර යාලුවොත් හිටියා. ඒත් මාත් එක්ක ඔරු පැද්ද යාලුවන්ගෙන් ගොඩක් පැදුරටත් නොකියා හොරෙන්ම මාරුවෙලා ගිහින්. තවත් සමහරු අපෝ අපිට බෑ ඔය කුණාටු අස්සෙ මනාව හොයන්න යන්න අපි බීච් එකේ ඉන්නම් කියලා මගෙ අනිත් යාලුවන්ට කියලා........
කවදාවත් කිසිදෙයක් අමතක නෑ.
ලගින් හිටපු උන් මග අරිද්දි මගේ ජීවිතේ බේරගන්න කුණාටු සාගරයකට ගිය හැමකෙනෙක්වම මට අමතක වෙන එකක් නෑ.

කුඩේ


අඩ අදුරේ, සැන්දෑවක, ඇවිදින්නට මා යන විට.....
පුංචි අහස, කලුකරගෙන, වැස්සක් ආවා හනිකට.....
වටපිට බැලුවා, සෙවනක්, හැකිනම් නොතෙමී ඉන්නට.....
කුඩේ යටින්, ඈ එනවා, දුටුවා සිහිනෙන් විලසට....
........
දිවගෙන ගොස් පුංචි දුරක් කුඩේ යටට රිංගාලා....
'වැස්ස සැරයි නේද නංගි' කියා ඇගෙන් විමසාලා....
හෙලාපු මනමාල බැල්ම, දුටුවම ඈ වෙරදාලා....
කුඩෙත් රැගෙන පැන දිව්වා, එතනම මා තනි කරලා....


ඈ අහිංසකය. ආඩම්බරය. කිරිබත්ගොඩදී ඈව පළමුව දුටු මොහොතේ මා සිටි තැනම ගල්වූවා මට මතකය. වෙහෙසෙනා තරමට ඵල ලැබෙන්නාක් මෙන් රේඩාර් එක දමා ඇය ගැන විස්තර කන්දක් සොයාගෙන ඇයට fb එකෙන් රික්වෙස්ට් එකක් දැමුවේ ඇගේ මිතුරෙකු මාර්ගයෙනි. ඈ එය ඇසෙප්ට් කර තිබූ අතර අපගේ ප්‍රේම කතාව එතනින් ඇරඹිනි.
.......
දෙපැත්තට හුවමාරු වූ fb මැසේජ් දහස් ගනනකි. සෙමින් සෙමින් කාලය ගෙවී ගියේය. එක් දිනෙක මා සිතේ පැවති ආදරය ඈ හට පැවසූ මා එයට කැමතිනම් පමණක් මාගේ දුරකතනයට කතා කරන ලෙස ඉල්ලා මැසේජ් එකක් ඈ වෙත යවන ලදී. ....
සියලු බලාපොරොත්තු සඵල කරමින් ඇගෙන් මාගේ දුරකතනයට මැසේජ් එකක් ලැබුනේ ඇගෙ ආඩම්බරකම පෙන්වා වුවද මම සැබෑ පිළිතුර ඒවනවිටත් තේරුම්ගෙන සිටියෙමි.
......
ගෙවීගිය කාලයත් සමග "නංගි මන් ඔයාව හම්බවෙලා කතාකරන්න කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට එන්නද?" යන ප්‍රශ්නය ඇගෙන් විමසුවේ ඈ යන ගමන් බිමන්, පන්ති පිළිබද මේ වනවිට මා හට ලොකු අවබෝධයක් තිබූ බැවිනි. 
"හා අයියා. එහෙනම් අද හවස 5ට එන්න."
..........
හවස 5ට කලින්ම මා එතනට ගොස් උපාසක බලලා සේ අනිත් කෙල්ලන් දෙස නොබලා බිම බලාගෙන සිටියෙමි.
එකවරම.....
"අයියේ....."
"හර්ෂ අයියේ" යන හඩ මට ඇසෙන්නට විය. හර්ෂ නමින් ඈ කිසි දිනෙක මට අමතා නැත. අනික ගෙදර අය ඇර අන් කිසිවෙක් ඒ නමින් මට කතා කරන්නේද නැත.
"හර්ෂ අයියේ........" යන හඩත් සමග මා වටපිට බලන්නට වූ අතර එකවරම හතර වටින් කලුවී ගිය අතර මා අපහසුවෙන් දෑස් විවර කලෙමි.
.....
"තේක මෙතන තිබ්බා. ආයිත් නිදාගන්න කලින් බීලා නිදාගන්න." කියමින් නංගී කාමරයෙන් පිටව ගියේය. 
ෆෝන් එක අතට ගත් මා පොඩිකරගත් දෑසින් යුතුව වෙලාව බැලුවෙමි.
වෙලාව පාන්දර 7ය. යකෝ ඉරිදා දවසෙවත් නිදහසේ ආතල් එකේ හීනයක් බල බල නිදාගන්න නෑනෙ. 
අපරාදෙ. හීනෙ හොදම හරිය.
තුක් නොදොකින්.
මටමයි බන් වෙන්නෙ.

ගංවතුර


අහල පහල සිටිනා සියල්ලන්ටම හොරෙන් අද ගංවතුරේ පීනන්නට ගියෙමි. ඒ පිහිනීම මරණය පෙනෙන තෙක් මානයේ නවතීවි යැයි අප ඒ වන විට සිහිනෙන්වත් නොසිතුවෙමු.
හැමදාම සිදුවනවාක් මෙන්ම උදේ නින්දට බාදාකරමින් නුවනයා උදේ 9ට පමණ කමරයට කඩාපැන්නේ මගේ සැප නින්ද සුනු විසුනු කරමිනි."වරෙන් යන්න ටකෙයාගෙ ගෙවල් පැත්තෙ. එහෙ යට උන උන්ට කන්න හදනවලු. අපිත් සප් එකක් දෙමු." කියූ ඌ කෙසේ හෝ උදේ 10 පමණ වන විට මාත් සමග ටකෙයාගෙ ගෙදරට සම්ප්‍රාප්ත වූයෙමු. තවත් පැයක් පමණ එතැන අත් උදව් දී තාරුකයාවත් සෙට් කරගෙන පට්ටිවිලට යන ගමනට මුල පිරුවෙමු. ෆෝන්, පර්ස් සියල්ල ටකෙයාට භාරදී අඩි හතරාමාරක් පමණ ගැඹුරු ජලයේ බැස වක්කඩවෙල, කනත්ත, පිට්ටනිය ආදී ස්ථාන පසුකරගෙන වැවක් මෙන් වටේම දිස්වන ගැඹුරු ජලය මැදින් පාර දෙපැත්තේ ඇති ලයිට් කනුවල පිහිටෙන් පාර මැද සොයාගෙන වෙලට නොවැටී සිටිමින්, සර්පයින්ට හා ගගෙන් ආ යැයි කියූ කිඹුලන් දෙදෙනාට බයේ ගැහි ගැහි මාබිම හන්දියට පැමිණියෙමි. ඒ අතරතුර සිදුවූ රසබර කතා විශාල සංඛ්‍යාවක් ඇති මුත් ඒවා පසු දිනෙක කිවීමට ඉතිරි කරමි.
.....
අනතුරුව නැවතත් නොගැඹුරු ජලයේ සිට ගැඹුරු ජලය දක්වාත් නැවතත් නොගැඹුරු ජලය හෙවත් පට්ටිවිල බෝක්කුව දක්වාත් ගමන් කලෙමු. බෝක්කුවෙන් හා පාරෙන් සුලු වශයෙන් වතුර වෙල දෙසට ගැලූ නමුත් එය එතරම් සැර නොවීය. අප ප්‍රදේශයේ ගංවතුර දැමීමේදී හා බැස යාමේදී ප්‍රධාන සන්ධිස්ථානය වන්නේ ඒ බෝක්කුවයි. එය ගගෙන් එන ජලය පාලනය කිරීමට සොරොව්වක් ලෙසින් නිර්මාණය කර ඇත.
අප එතනට යන විටද ඒ සොරොව්ව උඩට නැග එහි උඩ සිට බෝක්කුවට කොල්ලන් දෙතුන් දෙනෙකු පනිමින් සිටි අතර තවත් සමහරුන් එතරම් උඩ නැගීමට බියෙන් බෝක්කුවේ ඇන්දේ සිට බෝක්කුවට පනිනු දක්නට ලැබුනි.
.....
එය දුටු මට සිහි වූයේ වසර 5කට 6කට පමණ පෙර ආ මෙවැනිම විශාල ගංවතුරේ එක දිනක, මමද එක බෝක්කු ඇන්දේ සිට බෝක්කුවට පැන අත්විදි ඒ ජයග්‍රහණයේ ඉපිලීයන සතුටයි. එදා විනාඩි දෙකක් පමණ මා බෝක්කු ඇන්දේ සිටගෙන පනින්නට ලෑස්ති වී සිටියා මා හට තාමත් මතකය. මා පනිනකම් අනිත් පනින උන් සියල්ලන්ම බලාසිටියා මට මතකය. අඩි 25ක් 30ක් ගැඹුරු ජලයේ ගිලුනානම් බේරගන්න උන් සිටිනවා යන අදහස නිසා එදා මා බෝක්කුවට පැන්න නමුත් මා උඩ එනවිට වැඩි අපහසුවක් නොදැනිනි. බෝක්කුවට පැනීමත් පූල් එකක වතුරට පනින එකක් වගේමයි කියලා මට එදා තේරුම් ගිය එක් දෙයකි. හැබැයි ඒකට හිතේ හයිය තියෙන්න ඕනෙ. මම එදා පැන්නෙ වෙවුල වෙවුල. ගොඩ ආවෙ රටම දිනුවා වගේ කෑගගහා.....
........
ඒ එදාය. මේ අදය. අද කරනම් බලමින් මා හට සතුටු වීමට සිදුවී ඇත.
කෙසේ හෝ බෝක්කුව අසල කොල්ලොන්ගේ කරනම් බලමින් කාලය ගතකල අප නැවතත් ඒමට ආපසු හැරුනි. නමුත් අඩිකිහිපයකට වඩා අපට ආපසු ඒමට නොහැකිවිය.
"යකෝ පොඩි එකා යට ගියා" යනුවෙන් කෑගසනු ඇසිනි. වහාම හැරුනු අප තත්පර 5න් බෝක්කුව අසලට දිව ආවේ එළියට පනින්නට දගලන හදවතත් සමගය. ඒ වන විටත් යට ගිය එකා ගන්නට එකෙකු බෝක්කුවට පැන අවසානය.
තවද සොරොව්වේ බැම්ම අල්ලාගෙන වතුරේ සිටිනා කොල්ලන් දෙදෙනෙකි. සොරොව්ව උඩ වාඩි වී තවත් 5ක් 6ක් සිටි අතර සොරොව්වෙන් පැනීමට සොරොව්ව උඩටම නැග සිටි කොල්ලෙකි. බෝක්කු ඇන්දේ තවත් කොල්ලන් හතරදෙනෙකු පමණ සිටී. කෑ ගැසිම ඇසී එතනට ආ අපද, කොල්ලන් බෝක්කුවට පනිනවා නරඹමින් සිටි තවත් හතර පස් දෙනෙකුද එතැන විය.
සියල්ලන්ගේම ඇස් බෝක්කුවේ ගැඹුරු ජලය වෙත යොමුවී ඇත. යට ගිය එකා ගන්නට ගිය කොල්ලා වතුරෙන් උඩට මතුවිය. 
"ඌ බෝක්කු කට පැත්තෙ නෑ. යටට යන්න එපා යටින් අදිනවා ඇතුලට. පැනපන් සේරම උන්, බෝක්කු කටට ඉස්සරහ බලමු" යන වචන සෙට් එක කටින් පිටවනවාත් සමගම යට ගිය එකා නැවත උඩ මතුවිය. ඌගේ අත් දෙකත් ඔලුවත් මතුවී නැවතත් තත්පරෙන් යට ගියේය.
ගෙම්බන් රැලක් වතුරට පනින්නාක් මෙන් එකවරම දෙපසින් හා බෝක්කුවට හතර දෙනෙකු පැන්න අතර සොරොව්ව අල්ලාගෙන උන් එක් අයෙක්ද කලින් වතුරේ ගිලුනු එකාව සෙවීමට ගිය පිහිනුම් ශූරයාද(උගෙ හිතේ හයිය තියෙනවා) නැවතත් වතුරේ කිමිදුනි.
.....
තත්පර පහක් යන්නටත් පෙර කොල්ලවත් රැගෙන දෙදෙනෙකු උඩ ආවේ රැස්ව සිටි පිරිස කෑ ගස්සවමිනි. පොඩි එකා යැයි කීවාට ඌට අවුරුදු 18ක් 20ක් විතර වයසැතිය. අනතුරුව ෆිල්ම්වල මෙන් කෘතිම ස්වසනයවත්, පපු තෙරපුමවත් ලබා නොදුන් අතර ඌව බැම්මට හේත්තුකර වාඩිකරවන ලදී. එවිට දෙතුන් වතාවක් සිදුකල කැස්සත් සමග පෙවී තිබූ වතුර වමනය වෙන ලදී. ඉන් පසුව තවත් ටික වෙලාවකින් ඌට හොදටම සිහිය ආ අතර ඌ වටේ සිටි උන්ට කියුවේ "ගෙදරට කියන්න එපා බන්" කියන වචන සෙට් එකය.
එය දුටු මා හට මෙය ලංකාව බව පසක් විය.
කොල්ලන් මළත් උන්ගේ ප්‍රකට කියමන "මචං ගෙදරටනම් කියන්න එපා බන්" යන්නයි. අවසානයේ බේරුනු එකා වෙනුවට අපි තිදෙනා ඌ බේරාගැනීමට බෝක්කුවේ කිමිදුන එක එකා ලගට ගොස් "උඹලා නියම වැඩක් බන් කරේ. එළ මචං සුපිරි" යන වදනින් ඔවුන්ව ධෛර්‍යමත්කලෙමු. 

මහරගම අපේක්ෂා රෝහල 1

අද මම ගියා මහරගම අපේක්ෂා රෝහල හෙවත් පිළිකා රෝහලට. ඒ බුකියෙ යාලුවො සෙට් එකක වැඩකට උදව් කරන්න. එයාලා අද අපිවත් එකතු කරන් ලොකු පිනක් කලා. මුලු පිළිකා රෝහලටම අද අපි තැඹිලි වතුර දුන්නා. ඒ වගේම රෝහලට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය කිහිපයකුත් පරිත්‍යාග කලා. රෝහල අසල පන්සලේ විශ්‍රාම ශාලාවෙ රෝගීන්ගෙ නෑදෑයො ගොඩක් නැවතිලා ඉන්නවා. එයාලා වෙනුවෙන් අපි වියලි සලක වගයකුත් පන්සලට භාරදුන්නා.
ඉස්පිරිතාලෙ හැම වාට්ටුවකටම මම ගියෙ නැති උනාට ගොඩක් වාට්ටුවලට අද මම ගියා. ඒ මිනිස්සු විදින දුක මම අද දැක්කා. සමහර ලෙඩ්ඩු කොරිඩෝ එකේ පුටු දාගෙන එතනින් බෑග් එක තියාගෙන වාඩිවෙලා ඉන්නවා. මමත් කාලයක් කොළඹ ජාතික රෝහලේ ඔය වගේම පුටුවල දවල්ට වාඩිවෙලා ඉදලා, රෑට ඇදක් යට පැදුරක් එලාගෙන නිදාගත්ත හැටි මතක් උනා. රෑ 9ට 10ට නිදාගෙන පාන්දර 4ට 4.30ට වෝඩ් එක අතුගාන්න අපිව නැගිට්ටුවහම ආයිත් පුටුවට ගිහින් වැටුන හැටි මට මතක් උනා.
මම අවුරුදු 25ක කොල්ලෙක්. ඒත් මට ඉස්පිරිතාල එපා උනා ඒ නිසා. ඇදක් නැත්නම් නවතින්න බෑ කියපු වාර ගොඩක් තිබ්බා. කොල්ලෙක් වෙච්ච මට ඒ කට්ට දරා ගන්න බැරිනම් වයසක හෝ මැදි වයසෙ ඉන්න මෙයාලාට මේ කට්ට කොහොම දැනෙනවා ඇතිද කියලා ඔයාලට හිතාගන්නවත් බෑ. මේ අපේම අසරණ මිනිස්සු.
සේරම වාට්ටු අතරින් මට යන්න අමාරුම වාට්ටුවටත් මම අද අවුරුදු 2කට පස්සෙ පය තිබ්බා. ඒ ළමා වාට්ටුව.
ඒ හැම පුංචි ළමෙක් ලගම අම්මා හරි නැත්නම් වෙන කවුරු හරි නැවතිලා හිටියා. මම ඒ වාට්ටුවෙන් එද්දි පුංචි නංගි කෙනෙක් මගේ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. තට්ටෙ ගාපු ඒ ඔලුව, මූනෙ තිබ්බ අහිංසකකම ගැබ්වුන අඩාගන්න බැරි බැල්ම මට තාමත් මැවිලා පේනවා.
නංගියෙ, මේක ඔයා වෙනුවෙන්......
‪#‎මනෝජ්_අයියා‬
පුංචි නහය ඇතුලට බට දැම්මාට....
රිදුනේ නෑනෙ මගේ පුංචි නංගීට....
කවුරුත් නෑනෙ අයියට ටොකු අනින්නට...
පාලුයි නංගි හොද වෙන්නකො ඉක්මනට...
‪#‎නංගි‬
එන්නම් අයියෙ අයියට ටොකු අනින්නට...
අම්මගෙ සාරි ඇද සෙල්ලම් කරන්නට...
අයියට හොරෙන් බයිසිකලේ පදින්නට...
එනවා නංගි හොද වූ පසු ඉක්මනට...
අයියේ ඔබේ නංගිට පිළිකාවක්ලූ........
ජීවත් වෙන්න ඇත්තේ ටික දවසක්ලූ........
දෙවි පිහිටක් ලැබුනොත් මා බේරෙයිලූ........
මට නම් නොතේරෙයි අයියේ මේ සියලූ........

මහරගම අපේක්ෂා රෝහල 2


මහරගම අපේක්ෂා රෝහලේදී ගහපු ගොඩක් හිතට තට්ටු කරන ඡායාරූප පෙලක් අපේ #Chanuka සහෝ අරන් තිබ්බා. ඒ ටිකත් එක්ක අපි කරපු වැඩේ පුංචි ෆොටෝ ටිකක් මම දානවා. පුලුවන්නම් උපන්දිනයක් සමරන්න, නැත්නම් වෙන පාටියක් දාන්න වියදම් කරන සල්ලිවලින් මේ වගේ වැඩක් සුලුවට හරි කරන්න බලන්න. වැඩේ ඉවර උනාම හිතට දැනෙන සතුට, නිදහස ඒ කිසිම පාටියකින් ඔයාලට ලැබෙන්නෙ නෑ කියලා මම වගකීමෙන් කියනවා. 
බලන්න මේ ෆොටෝවල ඉන්න පුංචි ලමයගෙ හිනාව දිහා. ඒ හිනාව සල්ලිවලට ගන්න බෑ මචංලා මැචියොන්ලා.
කරන්න පින්. ජීවත්වෙන කාලෙදිම, මම ගොඩක් පිං කලා කියලා ආඩම්බර වෙන තරමට. මැරෙද්දි ගෙනියන්න පින් කරන්න එපා. ලෝකෙට පේන්නත් පින් කරන්න එපා.අසරණ ළමෙක්ගෙ, මනුස්සයෙක්ගෙ සතුට, හිනාව දකින්න පින කරන්න. එයාලට ආලෝකයක් වෙන්න. මනුස්සකම වෙනුවෙන් පින් කරන්න. මනුස්සකම දන්න මනුසත්දම් පිරුනු මිනිසෙක් වෙන්න.
බුදු සරණයි.













https://www.facebook.com/Lokuva/media_set?set=a.10208041138219452.1073741846.1628892456&type=3

මනෝජ් ගුණවර්ධන.
12-06-2016

ශර්ලෝක් හෝම්ස්

ඊයෙ රෑ ජාමෙ ලොකු එළියකුත් එක්ක කාමරේට ශක්‍ර දෙවියො පහල උනා. ශක්‍ර දෙවියා පෝය දවසෙ එක හොද මනුස්සයෙක්ට වරයක් දෙනවලු අතීතයට යන්න. අතීතයට ගිහින් ඕන දෙයක් කරන්න, ඕන දෙයක් වෙනස් කරන්න, ඕන දෙයක් ගෙනියන්න ගේන්න පුලුවන්ලු. 
පිනා චාන්ස් එකනෙ. මමත් එකෙන්ම හා කිවුවා. ගෙදරට වෙලා ඉදලා එපා වෙලා ඉන්න එකේ ඔහොම ජවුසමක් හරි නටන එක වෙනසකටත් හොදයිනෙ.
ඔන්න මම යන්න ලෑස්ති වෙලා ශක්‍රයාගෙන් උදව්වක් ඉල්ලුවා.
"කිව මනෝජ් පුතණුව. නුඹට අවශ්‍ය කිම?"
"අනේ දෙයියො. මට චන්දන මෙන්ඩිස්ගෙ ශර්ලොක් හෝම්ස් පොත් ටික සේරම ගෙනත් දෙන්න පුලුවන්ද"
"යහපති" කියලා ශක්‍රයා කිවුවා විතරයි මෙන්න බොලේ පොත් ගොඩක් ඇද උඩ.
මම පොත් එකින් එක තෝරලා පරණ පොත් ටික අයින් කලා. අලුතින් ලියපු පොත් ටික බෑග් එකකට දාගත්තා.
මම කරන හැමදේම ශක්‍ර දෙයියො මුල්ලකට වෙලා බලන් හිටියා. පොරට මාර ප්‍රශ්නෙ මම මොකද කරන්න හදන්නෙ කියලා.
"අනේ ශක්‍ර දෙයියනේ මේ බෑග් එකේ තියෙන පොත් ටික මට ඉංග්‍රීසිවලට හරෝලා දෙන්නකො."
"එම්බල මනෝජය. තා මේ පොත් රැගෙන ගොස් කුමක් කරන්නට සැරසෙන්නේද?"
"අනේ දෙවියනේ.මේ පොත් ටික අරන් ගිහින් කොනල් ඩොයිල් මහත්තයට දීලා කියනවා ලංකාවෙ එකෙක් තව අවුරුදු ගානකින් මේ වගේ විනාශයක් කරනවා ඒ නිසා මැරෙන්න කලින් තව ශර්ලොක් හෝම්ස් කතා ටිකක් ලියන්න කියලා. ඔය පොත් ටික කියෙවුවම ආතර් කොනල් ඩොයිල් හාට් ඇටෑක් එකක් ඇවිත් මලේ නැත්නම් අනිවා මිනිහා තව පොත් 20ක්වත් ලියලා තමා මැරෙන්නෙ. ඒ තරම් ජරා විදියට අප්පා ශර්ලෝක් හෝම්ස් කතා මේ චන්දන මෙන්ඩිස්කාරයා ලියලා තියෙන්නෙ. මේ වගේ ජරා කතා ටිකක් පෙන්නන්න විතරයි ඕනෙ මිනිහා හෝ ගාලා කතා ලියයි. එතකොට අපිට මේ වෙද්දි කොනල් ඩොයිල්ගෙම කතා කියවන්න පුලුවන් දෙයියො......"
මගේ කතාව ඇසූ දෙවියන්ගේ රැස් වලල්ල අතුරුදහන් වූ අතර ඇස් දෙක ඇහි බැමි දෙකටම උඩ ගියේය.
"පුතේ මට උඩින් කෝල් එකක්. මම ටක් ගාලා උඩට ගිහින් එන්නම්" කියූ ශක්‍රයා චුත වූ අතර මේ වනතෙක්ම ශක්‍රයාගෙන් කිසිදු ආරංචියක් නොලැබුනි.
මටත් වෙන දේවල්.
.....
මනෝජ් ගුණවර්ධන.