Saturday, July 2, 2016

ජීවිතේ හැටි part 3

පෙර කොටස හා සම්බන්ධය.....
පසුවදා උදෑසන ගෙදරින් ආ වෙලාවේ මා ඇහැරී තිබුන නමුදු එය මා හට හරිහමන් මතකයක් නැත. නැවතත් උදෑසන 8ට පමණ නර්ස්ලා ලේ ගන්නවා නම් මතකය. එකල සිදුවූ දෑ පිළිබද මාගේ මතකය තෙල් සායම් චිත්‍රයක් මෙනි. සමහර තැන් පැහැදිලි නමුදු තවත් සමහර තැන් බොද වී ගොසිනි.
උදේට කෑවාද, දවල්ට කෑවාද, මා බැලීමට කවුරුන් ආවාද යන්න මට මතක නැත.
කෙසේ හෝ එදින හවස්වන විට මා හට දැනගන්නට ලැබුනේ මා හට සෑදී ඇත්තේ සාමාන්‍ය ෆිට් එකක් බවත් එබැවින් ටිකට් කපා මා හට ගෙදර යා හැකිබවත්‍ ය.
වාට්ටුවේ සිටි සියලුම ඩොක්ටස්ලා මා පරික්ෂාකර බලා අවසානයේ තීරණය කර ඇත්තේ එයයි. එබැවින් එදින, එනම් අගෝස්තු 24වැනි දින සවස් යාමය වන විට මා ඩිස්චාර්ජ් කරන ලදී. තවද CT scan එකක් කිරිම සදහා මා හට සැප්තැම්බර් මස 12 හෝ 15 යන දිනයක් ලබා දුන්බවද මා හට මතකය. ෆිට් එකට ලබා දෙන රෝස පැහැති පෙත්ත පමණක් මා හට ලබා දී එලෙස රාගම රෝහලෙන් මා පිටමන් කරන ලදී.(ඔන්න ඉස්පිරිතාල. මැරෙන්න ලංවුනත්, ලෙඩෙක්ව නම් රාගමට අරගෙන යන්න එපා)
කෙසේ හෝ ඒ වන විට මාව එක්ක යාමට පැමිණි කවුරුන් හෝ සමග මා ගෙදර පැමිනියෙමු.
ඉන්පසුව මා ඉස්පිරිතාලෙ යැයි දන්නා සියල්ලන්ටම මම ගෙදර පැමිණි බව දන්වා මැසේජ් කොටන්නට පටන් ගතිමි. කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යනවා මට නොතේරුන අතර රාත්‍රියද උදාවූයේ එය තවත් එක් රාත්‍රියක් පමණක් නොවන බව මා සිහිනෙන්වත් නොසිතා සිටි අතරේය. රාත්‍රී ආහාරය ගෙන මා ඇදට වැටුනේ මැසේජ්වලටද පැමිණි දුරකතන ඇමතුම්වලටද පිළිතුරු දෙමිනි. ඒ මැසේජ් අතර මා හට අදටත් අමතක නොවන "මගේ ආදරයේ අහිමි වූ සුරංගනාවිය" එවන ලද ඒවාද විය. ඒ වන විට ඇය මා දමා ගොස් අවුරුදු එකයි මාස 3ක් වූ නමුදු මා හට සිදුවූ කරදරය ඇයට මා පැවසූ විගස මාගේ සුවදුක් විමසීමට තරම් අපගේ ආදරය ශක්තිමත් එකක් විය.
යාලුවන්ටද, වැඩපලේ මැනේජර්ටද ආදී වශයෙන් ඉන්නා සියල්ලන්ටම පණිවිඩ ලබා දෙන විට කෙමින් කෙමින් නිදිමත මා වටකර ගන්නට විය. පසුව ෆෝන් එක සයිලන්ට් දමා මා නිදා ගත්තේ පසුදිනද ගෙදරට වී විවේකයෙන් සිටින අදහසිනි. නමුත් පසුදින වනවිට ඒ අදහස අහසේ තැනූ මාලිගාවක් මෙන් සුනු විසුනු වී ගියේය.
පසුදින පාන්දර 9ට පමණ මට නින්දෙන් නැගිටින්නට සිදුවූයේ ලගම සිටින මිතුරන්ට හෙන ගසන්නටය. නුවන්ගේ ත්‍රීවිල් එකේ ඌත් සමගින් ශශියාද කුෂානයාද මා මරාගෙන කෑමට උදේ පාන්දරම කාමරේට සැපත් වී ඇත. ඉදලා ඉදලා වැඩට නොගිහින් නිදාගන්න තියෙන දවසත් මේ කාලකන්නි ටික ඇවිත් කෙලෙවුවා.
"නැගිටපිය යකෝ, කුම්බකරනයා වගේ නිදි. වෙලාව බලපිය දැන් 9ත් පාස් වෙලා. වරෙන් මූණ හෝදලා කාලා බීලා වටයක් ගහන්න යන්න" යනුවෙන් කියමින් නුවනයා මා අල්ලා සෙලවන විට ලෝකෙම හෙල්ලෙනවා දෝ යැයි මා හට සිතුනි.
කෙමින් කෙමින් නිදිගැට කඩමින් ලිද ලගට ගොස් ඇග සෝදා ගත් මා පාන් කෑල්ලකට වග කියා නුවනයාගේ ත්‍රීවිල් එකට නැගුනේ "ඕන රෙද්දක පලයන් දැන්" කියමිනි.
තවත් විනාඩි 2කින් අපි කුෂානයාගේ ගෙදරට සම්ප්‍රාප්ත උනු අතර ත්‍රීවිල් එකෙන් බැස්ස අපි උන්ගේ වත්තට වී කයියක් ගහන්නට විය.
කුෂානයාගේ වත්තේ පොඩි තාප්ප කෑල්ලක් වූ අතර එයින් පහල වූ‍යේ වත්තේ පහල කොටසයි. තාප්පයට එහා පසින් පඩිපෙලක් බැස පහලට යා හැකි අතර මා පඩිපෙල අසල වූ තාප්ප කෑල්ලේ වාඩි වී අනිත් උන් තිදෙනා සමග කියවන්නට විය.
ටික වෙලාවකින් මා තාප්පයෙන් පහල බැලූ අතර මා හට කියාගන්නට බැරි අමුත්තක් දැනුනේ විගසිනි. වහාම මා ඇස් දෙක ඉවතට ගත් අතර මාගේ මනස පුරා විවිධ දෑ දිව යන්නට විය. ඒ කිසිවක් මා හට පාලනය කිරීමට නොහැකි වූ අතර ඒ සියල්ලම වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් සංකීර්ණ ඒවා විය. එය ඔලුව රිදීමක්ම පමණක් නොව එය ඔලුව පුරා විවිධ දෑ එකවර දිව යාමක් වැනිය. "චොකලට්" යන්න සිතනා විට මනසේ චොකලට් එකක රුව ඇදෙනවාක් මෙන් මෙහිදී මා හට දරා ගැනීමට නොහැකි ලෙස විවිධ දේ මනස හරහා දිවගියේ ක්ෂණිකවය. එයට තත්පර 5ක් වත් ගත වූයේ නැති අතර මා එය ඉවසීමට බැරිම වූ විට දෑස පියා ගතිමි.
"මනා........" ආදී වශයෙන් නොයෙක් දේවල් නුවන්,කුෂාන් හා ශෂි මා අසලට පැමිණ කියූ නමුදු ඒ කිසිවක් මා හට ඇසුනේ නැත. තත්පර 15ක් පමණ ගතවන විට මා දෑස විවර කල අතර මා හට දෑස වපරව ඇති බවක් හැගුනි.
"නුවන් බලපන් මගෙ ඇස් දෙක දිහා..... නුවන්...... බලපන් බලපන් මගෙ ඇස් දෙක. ඇස් දෙකේ කලු බෝලෙ අයිනට ගිහින්ද? කියපන් කියපන්" යනුවෙන් මා කෑ ගසන්නට විය.
"ඔව් ඔව් මනා ඇස් දෙකේ කලු බෝලේ අයිනට ගිහින්" යනුවෙන් නුවන් කියූ විගසින් මා නැවතත් දෑස වසාගෙන ඉන්නා තැනම බිම බොරලු පොලවේ නිදාගතිමි.
"නුවන් මට බයයි ආයිත් ෆිට් එක හැදෙයි කියලා මම බිම මෙහෙම ඉන්නම්. මට හිටන් ඉන්න බෑ ඔලුව කැරකෙනවා. මොකක් හරි උනොත් ඉස්පිරිතාලෙ අරන් පලයන්" යනුවෙන් මා කියනවා මා හට අවසානයට මතකය.
මතු සම්බන්ධයි.

No comments:

Post a Comment