Friday, July 1, 2016

ගංවතුර


අහල පහල සිටිනා සියල්ලන්ටම හොරෙන් අද ගංවතුරේ පීනන්නට ගියෙමි. ඒ පිහිනීම මරණය පෙනෙන තෙක් මානයේ නවතීවි යැයි අප ඒ වන විට සිහිනෙන්වත් නොසිතුවෙමු.
හැමදාම සිදුවනවාක් මෙන්ම උදේ නින්දට බාදාකරමින් නුවනයා උදේ 9ට පමණ කමරයට කඩාපැන්නේ මගේ සැප නින්ද සුනු විසුනු කරමිනි."වරෙන් යන්න ටකෙයාගෙ ගෙවල් පැත්තෙ. එහෙ යට උන උන්ට කන්න හදනවලු. අපිත් සප් එකක් දෙමු." කියූ ඌ කෙසේ හෝ උදේ 10 පමණ වන විට මාත් සමග ටකෙයාගෙ ගෙදරට සම්ප්‍රාප්ත වූයෙමු. තවත් පැයක් පමණ එතැන අත් උදව් දී තාරුකයාවත් සෙට් කරගෙන පට්ටිවිලට යන ගමනට මුල පිරුවෙමු. ෆෝන්, පර්ස් සියල්ල ටකෙයාට භාරදී අඩි හතරාමාරක් පමණ ගැඹුරු ජලයේ බැස වක්කඩවෙල, කනත්ත, පිට්ටනිය ආදී ස්ථාන පසුකරගෙන වැවක් මෙන් වටේම දිස්වන ගැඹුරු ජලය මැදින් පාර දෙපැත්තේ ඇති ලයිට් කනුවල පිහිටෙන් පාර මැද සොයාගෙන වෙලට නොවැටී සිටිමින්, සර්පයින්ට හා ගගෙන් ආ යැයි කියූ කිඹුලන් දෙදෙනාට බයේ ගැහි ගැහි මාබිම හන්දියට පැමිණියෙමි. ඒ අතරතුර සිදුවූ රසබර කතා විශාල සංඛ්‍යාවක් ඇති මුත් ඒවා පසු දිනෙක කිවීමට ඉතිරි කරමි.
.....
අනතුරුව නැවතත් නොගැඹුරු ජලයේ සිට ගැඹුරු ජලය දක්වාත් නැවතත් නොගැඹුරු ජලය හෙවත් පට්ටිවිල බෝක්කුව දක්වාත් ගමන් කලෙමු. බෝක්කුවෙන් හා පාරෙන් සුලු වශයෙන් වතුර වෙල දෙසට ගැලූ නමුත් එය එතරම් සැර නොවීය. අප ප්‍රදේශයේ ගංවතුර දැමීමේදී හා බැස යාමේදී ප්‍රධාන සන්ධිස්ථානය වන්නේ ඒ බෝක්කුවයි. එය ගගෙන් එන ජලය පාලනය කිරීමට සොරොව්වක් ලෙසින් නිර්මාණය කර ඇත.
අප එතනට යන විටද ඒ සොරොව්ව උඩට නැග එහි උඩ සිට බෝක්කුවට කොල්ලන් දෙතුන් දෙනෙකු පනිමින් සිටි අතර තවත් සමහරුන් එතරම් උඩ නැගීමට බියෙන් බෝක්කුවේ ඇන්දේ සිට බෝක්කුවට පනිනු දක්නට ලැබුනි.
.....
එය දුටු මට සිහි වූයේ වසර 5කට 6කට පමණ පෙර ආ මෙවැනිම විශාල ගංවතුරේ එක දිනක, මමද එක බෝක්කු ඇන්දේ සිට බෝක්කුවට පැන අත්විදි ඒ ජයග්‍රහණයේ ඉපිලීයන සතුටයි. එදා විනාඩි දෙකක් පමණ මා බෝක්කු ඇන්දේ සිටගෙන පනින්නට ලෑස්ති වී සිටියා මා හට තාමත් මතකය. මා පනිනකම් අනිත් පනින උන් සියල්ලන්ම බලාසිටියා මට මතකය. අඩි 25ක් 30ක් ගැඹුරු ජලයේ ගිලුනානම් බේරගන්න උන් සිටිනවා යන අදහස නිසා එදා මා බෝක්කුවට පැන්න නමුත් මා උඩ එනවිට වැඩි අපහසුවක් නොදැනිනි. බෝක්කුවට පැනීමත් පූල් එකක වතුරට පනින එකක් වගේමයි කියලා මට එදා තේරුම් ගිය එක් දෙයකි. හැබැයි ඒකට හිතේ හයිය තියෙන්න ඕනෙ. මම එදා පැන්නෙ වෙවුල වෙවුල. ගොඩ ආවෙ රටම දිනුවා වගේ කෑගගහා.....
........
ඒ එදාය. මේ අදය. අද කරනම් බලමින් මා හට සතුටු වීමට සිදුවී ඇත.
කෙසේ හෝ බෝක්කුව අසල කොල්ලොන්ගේ කරනම් බලමින් කාලය ගතකල අප නැවතත් ඒමට ආපසු හැරුනි. නමුත් අඩිකිහිපයකට වඩා අපට ආපසු ඒමට නොහැකිවිය.
"යකෝ පොඩි එකා යට ගියා" යනුවෙන් කෑගසනු ඇසිනි. වහාම හැරුනු අප තත්පර 5න් බෝක්කුව අසලට දිව ආවේ එළියට පනින්නට දගලන හදවතත් සමගය. ඒ වන විටත් යට ගිය එකා ගන්නට එකෙකු බෝක්කුවට පැන අවසානය.
තවද සොරොව්වේ බැම්ම අල්ලාගෙන වතුරේ සිටිනා කොල්ලන් දෙදෙනෙකි. සොරොව්ව උඩ වාඩි වී තවත් 5ක් 6ක් සිටි අතර සොරොව්වෙන් පැනීමට සොරොව්ව උඩටම නැග සිටි කොල්ලෙකි. බෝක්කු ඇන්දේ තවත් කොල්ලන් හතරදෙනෙකු පමණ සිටී. කෑ ගැසිම ඇසී එතනට ආ අපද, කොල්ලන් බෝක්කුවට පනිනවා නරඹමින් සිටි තවත් හතර පස් දෙනෙකුද එතැන විය.
සියල්ලන්ගේම ඇස් බෝක්කුවේ ගැඹුරු ජලය වෙත යොමුවී ඇත. යට ගිය එකා ගන්නට ගිය කොල්ලා වතුරෙන් උඩට මතුවිය. 
"ඌ බෝක්කු කට පැත්තෙ නෑ. යටට යන්න එපා යටින් අදිනවා ඇතුලට. පැනපන් සේරම උන්, බෝක්කු කටට ඉස්සරහ බලමු" යන වචන සෙට් එක කටින් පිටවනවාත් සමගම යට ගිය එකා නැවත උඩ මතුවිය. ඌගේ අත් දෙකත් ඔලුවත් මතුවී නැවතත් තත්පරෙන් යට ගියේය.
ගෙම්බන් රැලක් වතුරට පනින්නාක් මෙන් එකවරම දෙපසින් හා බෝක්කුවට හතර දෙනෙකු පැන්න අතර සොරොව්ව අල්ලාගෙන උන් එක් අයෙක්ද කලින් වතුරේ ගිලුනු එකාව සෙවීමට ගිය පිහිනුම් ශූරයාද(උගෙ හිතේ හයිය තියෙනවා) නැවතත් වතුරේ කිමිදුනි.
.....
තත්පර පහක් යන්නටත් පෙර කොල්ලවත් රැගෙන දෙදෙනෙකු උඩ ආවේ රැස්ව සිටි පිරිස කෑ ගස්සවමිනි. පොඩි එකා යැයි කීවාට ඌට අවුරුදු 18ක් 20ක් විතර වයසැතිය. අනතුරුව ෆිල්ම්වල මෙන් කෘතිම ස්වසනයවත්, පපු තෙරපුමවත් ලබා නොදුන් අතර ඌව බැම්මට හේත්තුකර වාඩිකරවන ලදී. එවිට දෙතුන් වතාවක් සිදුකල කැස්සත් සමග පෙවී තිබූ වතුර වමනය වෙන ලදී. ඉන් පසුව තවත් ටික වෙලාවකින් ඌට හොදටම සිහිය ආ අතර ඌ වටේ සිටි උන්ට කියුවේ "ගෙදරට කියන්න එපා බන්" කියන වචන සෙට් එකය.
එය දුටු මා හට මෙය ලංකාව බව පසක් විය.
කොල්ලන් මළත් උන්ගේ ප්‍රකට කියමන "මචං ගෙදරටනම් කියන්න එපා බන්" යන්නයි. අවසානයේ බේරුනු එකා වෙනුවට අපි තිදෙනා ඌ බේරාගැනීමට බෝක්කුවේ කිමිදුන එක එකා ලගට ගොස් "උඹලා නියම වැඩක් බන් කරේ. එළ මචං සුපිරි" යන වදනින් ඔවුන්ව ධෛර්‍යමත්කලෙමු. 

No comments:

Post a Comment