ඔලුවේ දැඩි වේදනාවක් එකවරම මා හට දැනුනි. මා වමත ගෙන ඔලුව අල්ලන්නට උත්සහ කරන විට මා හට දැනී ගියේ මා බිම වැතිර සිටින බවකි. මගේ මුලු ශරීරය පුරාම දිවයන වේදනාවක් දැනෙන්නට විය. මා කෙමින් කෙමින් දෑස විවර කළේය.
මා දෑස විවරකරන විට මාහට මුලින්ම පෙනුනේ මා අසලින් හුන් වයසක අයෙකි. අඩ අදුරේ තවත් මා හොදින් බලන විට පෙනී ගියේ ඔහු රෝදපුටුවක සිටි ආබාධිත අයෙකු බවයි. ඔහු යාචකයෙක් යැයි මා අනුමාන කලේ ඔහුගේ පෙනුම දුටු විගසය. රෝද පුටුව වටේ පිරවුනු බෑග් කිහිපයක් එල්ලා තිබුනු අතර ඔහු ඇද සිටියේ ජරා වූ කමිසයකි. මුහුණ පුරා වැවුනු ඝන රැවුලකි.
"මහත්තයො මේ වතුර ටික බොන්නකො" කියමින් ඔහු මා වෙත වතුර බෝතලයක් දික්කලේ පිපාසයෙන් සිටි මා හට දෙවියෙකු වෙමිනි. මා සෙමින් සෙමින් වැතිර සිටි තැනින් කෙලින් වී බිම වාඩිවිය. වතුර බෝතලය ගත් මා එයින් උගුරු කිහිපයක් පානය කරමින් කල්පනා කලේ සිදුවූයේ කුමක්ද යන්නයි.
මා ඔෆිස් එකෙන් එලියට එන විට කවුරුන් හෝ මට පහර දුන්නා මා හට මතක මුත් ඉන්පසු සිදුවූයේ කුමක්ද යන්න මා හට හරිහමන් මතකයක් නැත. මා වතුර බෝතලය පැත්තකින් තබා ඔලුවේ රිදෙනා තැන අල්ලා බැලුවේ කුතුහලයටය. මා හිසෙන් ගලා ආ රුධිරය, එවිට මා අතගැටුනි.
මා වට පිට බැලුවේ මාගේ කාරය නවතා තිබූ ස්ථානයේ නොමැති බව මා හට පෙනීගිය හෙයිනි.
"මහත්තයො කලබල වෙන්න එපා. මම අර මුල්ලෙ හිටියෙ මේක වෙද්දි. මහත්තයා එළියට ඇවිත් මේ පැත්තට එද්දි මහත්තයාගෙ පිටිපස්සෙන් ආපු තුන්දෙනෙක් මහත්තයට වටකරගෙන ගැහුවා. එකෙක් මහත්තයව තල්ලු දැම්ම පාරට මහත්තයා ගිහින් අර තියෙන යකඩ කණුවෙ වැදුනා. ඊට පස්සෙ සිහිනැතිවුනාද කොහෙද. අරුන් මහත්තයගෙ සාක්කුවල තිබ්බ දේවල් අරගෙන කාර් එකක නැගලා යන්න ගියා. ඊට පස්සෙයි මම මෙතනට ඇවිත් මහත්තයට වතුර ඉහලා සිහිය ගත්තෙ."
එවිට මා හට සිදුවී ඇති දේ හොදින් පසක් විය. මා සාක්කු අතගා බැලූ මුත් මගේ සාක්කු සියල්ලම ඒවන විට හිස්වී තිබුනි. අනතුරුව දෙපයට වාරු ගත් මා නැගී සිටියේය. මා අතපය සියල්ලම දැඩි සේ රිදුම් දෙයි. හිසේ ඇති තුවාලයේ වේදනාව ඒ සියල්ල පරයා නැගෙයි.
මා අසල හුන් වයසක මිනිසා ඔහුගේ මල්ලක් ඇද එහි තිබී කුඩා පොට්ටනියක් අතට ගත්තේය. ඔහු එය ලිහා එහි තුබූ රුපියල් විස්සේ කොළ බණ්ඩලයක් අතට ගත්තේය.
"මහත්තයො මේ තියෙන්නෙ මම හදීසියකදි ගන්න කියලා එකතු කරපු සල්ලි. මහත්තයා හරියට මගේ පොඩි කොල්ලා වගේමයි. ඌටත් මහත්තයගෙ වයසම ඇති. මේ සල්ලිවලින් මහත්තයා වීල් එකක් අරගෙන බෙහෙතුත් දාගෙන ගෙදර යන්න." කියා මා අත රුපියල් විස්සේ බණ්ඩලය තැබුවේය.
"එපා අන්කල් එපා. මම මොකක් හරිකරගන්නම්. යනවිදියක් මම කෝම හරි හොයගන්නම්. අන්කල්ගෙ සල්ලි අන්කල් තියාගන්නකො." යනුවෙන් මා පැවසූයේ ඒ අසරණයාගේ මුදල් මා හට ගැනීමට නොහැකි බැවිනි.
"මහත්තයො, මම තාත්තා කෙනෙක් විදියට මේ සල්ලි ටික දෙන්නෙ. මහත්තයව මට පේන්නෙ මගේම පුතා වගේ. ඉතින් පුතා කරදරයක වැටිලා ඉද්දි උදව්කරන්නෙ නැති තාත්තා කෙනෙක් මොකටද. පුතා හොදින් ඉන්නවා දකින්නයි ඕනෙම තාත්තා කෙනෙක්ට ඕනෙ. අපි හෙට අනිද්දට මැරිලා යන මිනිස්සු. ඒ නිසා මම හිතේ සතුටින් දෙන දේ ගන්න මහත්තයො. මීට වඩා හොද වෙලාවක් නෑ මේ සල්ලි පාවිච්චි කරන්න." යනුවෙන් ඔහු කියනා විට මා හදවත නතරවී ගියාක් මෙන් මා හට දැනෙන්නට විය.
විස්සෙ කොළ බණ්ඩලය ගුලිකරගත් මා ප්‍රධාන පාරවෙත පැමිණ ත්‍රීවිල් රථයකට ගොඩවිය. නමුත් මා සිත පුරාම දිවගියේ මීට ටික වෙලාවකට කලින් ඇසුනු දෙයකි.
"මහත්තයව මට පේන්නෙ මගේම පුතා වගේ. ඉතින් පුතා කරදරයක වැටිලා ඉද්දි උදව්කරන්නෙ නැති තාත්තා කෙනෙක් මොකටද. පුතා හොදින් ඉන්නවා දකින්නයි ඕනෙම තාත්තා කෙනෙක්ට ඕනෙ. අපි හෙට අනිද්දට මැරිලා යන මිනිස්සු. ඒ නිසා මම හිතේ සතුටින් දෙන දේ ගන්න මහත්තයො.".........
පසුදා උදෑසනම නිවස වෙතට කැබ් රථයක් ගෙන්වාගත් මා එහි නැගුනේ ගමනාන්තය ගැන දහසකුත් එකක් බලාපොරොත්තු දල්වාගෙනය.
"කොහෙටද මහත්තයො යන්න ඕනෙ"
"අපි යමු සීවලී වැඩිහිටි නිවාසෙට"
පැයක පමණ ගමනකින් පසු එතනට පැමිණි මා කැබ් රථයෙන් බැස "මල්ලි පොඩ්ඩක් ඉන්න මම තව පොඩ්ඩකින් එනවා" යැයි කියමින් වැඩිහිටි නිවාසය තුලට ගමන් කලෙමි.
කෙමින් කෙමින් මා පපුවේ ගැස්ම වැඩි වූ අතර මීට වසර දෙකකට පමණ පෙර මේ ස්ථානයට මා ආ අයුරු මට සිහිවිය. එදා මතකයන් මා සිත පුරා දිවයන විට, මා දෑස අගට මටත් හොරා කදුලක් ගලා ආවේය. සිහින් ඉකිබිදුමක් හදපතුලෙන් මා හට ඇසෙන්නට වූ අතර එය හදවතින් පිටාර ගොස් මා මුවගින් පිටවී සුලගේ මුසුවන ලදී.
කොරිඩෝව දිගේ ගමන් කල මා අවසානයේ බන්කුවක් මත වාඩිවී සිටි අයෙකු අසල මා නතර විය. එතන දණගසාගත් මා ඔහුගේ දෙපතුල් අල්ලා වැන්දේ " මට සමාවෙන්න මගෙ රත්තරන් තාත්තෙ. අපි ගෙදර යමු. මට සමාවෙන්න" කියමිනි.
මනෝජ් ගුණවර්ධන.
29-12-2016
No comments:
Post a Comment