Sunday, March 2, 2014

කොමිස්


මෙය ලියම්දෝ නොලියම්දෝ යනුවෙන් මගේ හිතත් එක්ක මම සති 2ක් වාද විවාද කලා. අන්තිමට වෙන දෙයක් වෙච්චාවෙ කියලා මම මේක ලියන්න තීරණය කලා.

මම වැඩ කරන්නෙ පිටරටින් භාණ්ඩ ගෙන්වන ආයතනයක.අපි රජයේ ආයතන සදහාත් භාණ්ඩ සපයනවා. මම මේ කියන්න යන පුද්ගලයා රජයේ ප්‍රධාන පෙලේ පාඩු ලබන ආයතනයක භාණ්ඩ මිලදීගනු ලබන්නෙක්. ඒ කිව්වෙ purchasing කරන කෙනෙක්.අපි එයාට නිහාල් කියලා කියමු.
අපි නිහාල්ව අදුරගත්තෙ අවුරුදු දෙකකට විතර කලින්.එදා එයා ඇවිත් මිලකැදවුම්පතක් අපේ බොස්ට දීලා මොන මොනාදෝ බොස් එක්ක කතා කලා. ඊට ටික වෙලාවකට පස්සෙ නිහාල් ගියා.ඊට පස්සෙ බොස් මටකතා කලා.
"පුතේ, මේ Quotation 3 පුරවලා දෙන්න අපේ තුන් දෙනෙක් ලව්වා. එකකට මම මේ කොලේ ලියලා තියෙන ගනන් දාලා අපේ සීල් එක ගහන්න. අනිත් දෙක ඊට වැඩියෙන් දාලා මෙන්න මේ තැන් දෙකෙන්  සීල් දෙක ගහන් එන්න.මම අපේ බඩු දාලා තියෙන්නෙ 1500/= ගානෙ. ඒ උනාට අපේ එකේ දාන්න ඕනෙ මම මේ කොලේ ලියලා තියන ගාන. වැඩිපුර ගාන උගෙ කොමිස් එක.මේක අවුරුදු ගානක් තිස්සෙ ගෙන්නපු මමවත් තාම හම්බකරන් නෑ මුගෙ කොමිස් එක තරම් ලාභයක්.මාර මිනිස්සු" කියලා බොස් මට මිල කැදවුම්පත් 3 දුන්නා.
මම මගේ පුටුවට ගිහින් වාඩිවෙලා බොස් ගනන් ලියලා දීපු කොලේ අතට ගත්තා.ඒකෙ තියෙන ගාන දැක්කම මම පුටුවෙන් විසික් නොවුන එක විතරයි.
ඒකකයක මිල රුපියල් 3150ක් දාන්න කියලයි ඒකෙ තිබ්බෙ.මිලදී ගනු ලබන ඒකක ගනන විදියට 500ක් මිල කැදවුමේ තිබ්බා. ඒ කියන්නෙ එකකින් නිහාල්ට යන කොමිස් එක රුපියල් 1650ක්.සම්පූර්ණ කොමිස් එක රුපියල් 825,000ක්.
එක මිලකැදවුමක් මම රුපියල් 3150/=ක් විදියට පිරෙවුවා.අනිත් මිල කැදවුම් දෙක ඊට වඩා වැඩි ගානක් දාලා අපේ තව දෙන්නෙක් ලවා පුරවලා ඒව මම බොස් කිවුව තැන් දෙකෙට යවලා සීල් කරගෙන ආවා.
ටික වෙලාවකින් නිහාල් මිලකැදවුම්පත් ටික අරන් යන්න ආවා.මම එයාට කතා කලා.
"අයියා, මේක මේ දාලා තියෙන ගනන් වැඩි නැද්ද? නිකමට හරි call එකක් දාලා ගනන් ඇහුවොත් එහෙම ඔයාටත් ප්‍රශ්නයක් නේද?"
"නෑ මල්ලි ඒවා අවුලක් නෑ මම ඒවා බලාගන්නම්.මම මේවා පුරුදුවෙන්න කරන ඒවානෙමෙයි.මම බඩුටික ගන්න තව සතියකින් විතර චෙක්එකත් අරන් එන්නම්." කියලා නිහාල් මිල කැදවුම්පත් ටික අරන් යන්න ගියා. ඊට සතියකට විතර පස්සෙ නිහාල් චෙක්පතක් අරන් ඇවිත් බඩුටික ගත්තා.ඒ වගේම එයාගෙ කොමිස් එකත් අරන් ගියා.චෙක් එක රජයේ ආයතනයක නිසා ඒක අනිවාරයයෙන්ම පාස් වෙනවා.ඒ නිසා කොමිස් එක දෙන්න අපි බය උනේ නෑ.
එදා ඉදන් අද වෙනකම් මේ විදියට අපි ගනුදෙනු විශාල ගනනක් කලා.ඒ හැම එකකින්ම නිහාල්ට විශාල මුදලක් කොමිස් විදියට ගියා.
මේ අතරතුර නිහාල් ගෙයක් හැදුවා.ඒකෙ උඩ තට්ටුවෙ තමයි කුස්සිය තිබ්බෙ. කෑම කන කාමරේ පහල තට්ටුවෙ.කුස්සියෙ ඉදන් කෑම කන කාමරේට කෑම ගේන්න පුලුවන් ලිෆ්ට් එකකුත් මිනිහා සවිකලා.
හිතලා බලන්න මිනිහා කොච්චර හම්බකරලද කියලා.
අවුරුදු දෙකක් තිස්සෙ අපි තාමත් ගනුදෙනු කරනවා.තාමත් මේ කොමිස් ගැහිල්ල කිසිම ජගතෙක්ට අහුවෙලා නෑ.මේවගේ මිනිස්සු නිසා තමයි අපේ රට විනාශ වෙන්නෙ.මම ආයතනයක සේවකයෙක් විතරයි.මම මේකට විරුද්ධ උනා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.අකමැත්තෙන් උනත් අවුරුදු දෙකක් තිස්සෙ මම රටේ මහජන මුදල් වංචාකරන කෙනෙක්ට උදවු කරනවා.ඒක මගෙ රස්සාව.

සත්‍ය සිදුවීමකි.

මනෝජ් ගුණවර්ධන.
02-03-2014

Tuesday, February 4, 2014

හෘද සාක්කිය

මට සමාවෙන්න චතුරංග.
මට සමාවෙන්න, මට සමාව දෙන්න.
මම ඔයාට එහෙම කරන්න හිතුවේ නෑ,කියමින් මා ඉකිබිදින්නට විය.
මට මගේ හිත වාවගන්න බැරිය.මා තවත් ඉකිබිදිමින් හඩන්නට පටන් ගතිමි.

පුතේ, පුතේ. නැගිටින්න.නැගිටින්න................ ඇයි මොකද නරක  හීනයක්වත් දැක්කද?
අම්මාගේ කටහඩින් මම අවදි විය.
නමුත් මා තවමත් ඉකිබිදියි.මගේ දෑසින් කදුළු රූටා වැටෙයි.නමුත් දැන් මට මා දැක ඇත්තේ හීනයක් බව තේරුම් ගන්නට හැකි විය.නැවතත් මම ඒ බියකරු සිහිනය නිසා අවදිවී ඇත.වසර ගණනාවක් තිස්සේ වරින්වර මාගේ  නින්ද අහිමිකළ, වසර ගණනාවක් මාගේ හිතේ සැනසීම නැති කල ඒ දෙය,නැවතත් මා හඩවා ඇත.
ටිකෙන් ටික මා සිහිඑළභා  ගතිමි.මගේ හිස අතගාමින් ඇදේ අයිනෙන් වාඩිවී අම්මා මා දෙස නෙතු නොසෙලා බලාසිටී.එය දුටු මාගේ ඉකිය නැවතිනි.මා පත්ව ඇති තත්ත්වය අනුව  යුතු හොදම තීරණය මා ක්ෂණිකව ගන්නා ලදී.එකවරම මගේ නිදමත දැඩි වී අනිත් පසට හැරී කොට්ටය බදාගෙන දෑස වසා ගතිමි.

පුතේ,පුතේ යනුවෙන් අම්මා මා අමතන්නට විය.නමුත් මා දැන් සිටින්නේ තද නින්දේය.මා නිදි නැතිමුත් තද නින්දේ සිටින බව ඇගවිය.නැතහොත් උදැසන මාහට යොමුවන දහසක් ප්‍රශ්නවලට උත්තර ලබාදීමට සිදුවේ.ටික වෙලාවකින් අම්මා නැගිට යන හඩ මට ඇසුනි.පසුව කාමරයේ ලයිට්එක නිමන හඩද, දොර වැසෙන හඩද ඇසුනි.තවත් තත්පර කිහිපයක් නොසෙල්වී සිටි මා අදුරේම අතපත ගාමින් දුරකථනය සොයා ගතිමි.වෙලාව උදැසන 5.22යි.
දුටුවා වූ සිහිනය ගැන මා සිතන්නට විය.එය සිහිනයක් නොවේ. එය සැබවින්ම සිදු වූ දෙයකි.වසර නමයක් තිස්සේ මා හිතින් විදවනු ලබන මා අතින් සිදුවූ වරදකි.

එකල මට වයස අවුරුදු 14කි.ඒ සිංහල අලුත් අවුරුදු කාලයයි.එකල සෑම දවසකම අපි සිටින්නේ පිට්ටනියේය.එසේත් නොමැතිනම් රබර් වත්තේය.දවල් කාලයේ රබර් වත්තේ හෙවන ඇති බැවින් අපි එහි එකතු වී ජිල් බෝල ගසයි.එසේත් නොමැතිනම් ක්‍රිකට් ගසයි.එදා මම උදැසනින්ම රබර් වත්ත වෙත ගියේ හිතේ වෙනත් අදහසක්ද හංගගෙනය.මා යන විට දුටුවේ චතුරංග ඔට්ටුපාල ගලවමින් බෝලයක් හදමින් සිටින ආකාරයයි.ඔහු දුටු මගේ මුවේ සිනහවක් ඇදුනේ කරන්නට යන කුප්ප වැඩය සිහිවීමෙනි.මම සෙමින් සෙමින් ගොදුරක් සොයා යන පුසෙකු මෙන් ඔහු සිටිනා දෙසට ඇදුනි. චතුගේ සම්පුර්ණ අවධානය ඔට්ටුපාල බෝලය හැදීම කෙරේ තිබු බැවින් ඔහු මා දුටුවේ නැත.චතු ගසක් අසල සිටගෙන ඒ ගසෙන් ඔට්ටුපාල ගලවමින් සිටියි.මම ඔහුට පසුපසින් ඇති ගසට මුවා විය.

සෙමින් මා සාක්කුවට අත දමා අවශ්‍ය දෑ එළියට ගතිමි.ඒ බට්ටෙකි.එනම් තුම්මුලස් රතිඤ්ඤා කරලකි.අනිත් සාක්කුවට ඇත දමා ගිනිපෙට්ටිය ගතිමි.පහත්වී බට්ටාව බිමින් තබා ගිනිපෙට්ටියෙන් ගිනිකුරක් ගෙන දල්වීමි. හුළං පාරට ගිනිකුර  නිමී ගියේය.මම තවත් පත්වී ගිනිපෙට්ටිය මාගේ ඇගටත් ගසටත් මුවාවෙන ලෙස තබාගෙන ගිනිකුර දල්විමි.එවර එය දැල්විණි.මම ගිනිපෙට්ටිය බිමින් තබා බට්ටා අතටගෙන පත්තුකර චතු සිටි දෙසට විසික් කලෙමි.

සියල්ල ක්ෂණිකව සිදුවිය.බට්ටා මහ හඩක් නගමින් පුපුරා ගියේය.එම සද්දයට බියවී චතු කෑගසමින් ඉදිරියට පැන්නේය.එවිට ඔහු ගසේ හැපී බිම ඇදවැටුණි.මා ඔහු අසලට යන විට ඔහු දෑස පියාගෙන බිම වැතිර සිටියේය.මම ඔහුගේ හිසයටින් අතදමා ඔහුව වාඩිකිරිමට තැත් කලෙමි.එවිට මාගේ අත උණුසුම් වූ රුධිරයෙන් තෙත්විය.

මා දුවන්නට විය.ම හදවත වේගයෙන් ගැහෙන්නට විය.විනාඩි දෙකක් ගතවෙද්දී මා නිවසේ මාගේ ඇද මත සිටියේය.පොත් මේසයෙන් පොතක් ගත් මා ඒ දෙස නෙත් යොමා සිටින්නට විය.මා හදවත වේගයෙන් ගැහෙයි. චතු මළාද?  මොකද උනේ? මාව පොලිසියෙන් අල්ලන් යයිද?, යනාදී දහසක් ප්‍රශ්න වලින් මා තෙරපෙන්නට විය. එදා ලොව දීර්ඝතම දවසයි. ටික වේලාවකින් අම්මා කාමරයට එබුණි. "ආ පාඩම් කරනවද, තෝ හෙල්ලියන්කෝ බලන්න අද ඔතනින්.කඩනවා හතර හන්දි.අන්න චතු රබර්වත්ත මැද සිහිනැතිව වැටිලලු.කොච්චර එපා කිවුවත් අහන්නේ නෑ රිංගනවා කනතු රබර්වතුගානේ.තෝත් බැහැපන්කෝ අද එලියට." යනුවෙන් අම්මාගේ ගෝරනාඩුව ඇසුනි.

කෙමෙන් කෙමෙන් පසුදින උදාවිය.උදෑසනින්ම දිනේෂ් පැමිණ ඇති බව අම්මා මට කීවේය.
මම ගැහෙන හදින් යුතුව එළියට ආවෙමි.
මනා, චතුවා ඊයෙ රබර් වත්ත මැද වැටිලා.කවුරුහරි උගේ ඇගට රතිඤ්ඤා දාලා.ඌ බය උන පාර සිහිනැතිව වැටිලා.එවෙලේ උගේ ඔලුව  හරි වැදිලා.දැන් ඉස්පිරිතාලේ.ඌට දැන් සිහිය ඇවිත්.ඔලුව පැලිලා මැහුම් තුනක් දලාලු.මම අම්මා එක්ක අද දවල්ට යනවා ඌව බලන්න.එනවද යන්න, යනුවෙන් එක දිගට දිනේෂ් කියාගෙන කියාගෙන යයි.මට බෑ බන් මට සනීප නෑ යනුවෙන් පවසා මම නැවතත් කාමරයට වැදුණි.

දින තුනකට පසු චතු ගෙදර රැගෙන එන ලදී.ඔහුගේ හිසේ තුවාල කෙමෙන් සුව විය.නමුත් බයික් එකක හෝන් එකක්,අත්පුඩියක් පවා ඇසූ පමණින් ඔහු බිය වේ.කාලයක් යන තෙක් ඔහු එසේ බියෙන් කල් ගෙවීය.කාලයක් යන තෙක් ඔහු අපේ සෙට් එකේ අයියලාගේ බයිට් එකක් විය.ඔන්න රතිඤ්ඤා, යනුවෙන් පවසමින් චතුව බය කිරීම ඔවුන්ගේ විනෝදාංශයක් විය. මේ සෑම දෙයකටම වරදකරු මමය.අහිංසකයෙක් මම නිසා වසර දෙකක් තුනක් හිතෙන් දුක් වින්දා කියන හැගීම මගේ හිත ගැබුරින් තැන්පත්ව ඇත.කිසිදාක මගේ හෘද සාක්කිය මට සමාවක් නොදෙනු ඇත.

මනෝජ් ගුණවර්ධන.
04-02-2014