"මනා, දැන් ගොනා වගේ එක පාර ඒ පැත්ත බලන්න එපා. හිමින් සීරුවෙ පාරෙන් එහා පැත්ත බලපන්. අර ඉන්න ඇන්ටි උඹ දිහාමයි බලන් ඉන්නෙ. මම හිතුවා මගේ දිහා බලන්නෙ කියලා. දවස් දෙකක් මම ඕක නෝට් කලා. තනියමත් මම දවසක් ආවා. එදා උඹ නැති නිසාද කොහෙද ඒකි ගියා."
"පල ඩෝ යන්න. ගෙවල් පැත්තට බෝඩිම්කාරයො ආවම අහල පහල මිනිස්සු කොහොමත් උන් ගැන හොයලා බලනවා."
"මට නම් පේන්නෙ මේක හොයලා බැලිල්ලක් නෙමේ වගේ. ඇන්ටා පාර උඹට කැමතියි වගේ.උඹත් ලයින් එකක් අල්ලපන්කො.එකෙන්ම දාගන්න පුලුවන්."
"පල ගෝතයො යන්න. උඹ හිතුවද මටත් උඹ වගේ අසහනේ කියලා. ඒ මනුස්සයා පාරට නිකම් එන්න ඇත්තෙ."
"හරි හරි අපි බලමුකො පුතා. උඹට මට හොරෙන් කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ. මට හංගන්න ගිහින් හොද නැටුමක් නටපන්කො අපිටත් බෝඩිමෙන් යන්න වෙන්නම. කරන දෙයක් කියලා කරපන්. මම එකෙන්ම සප් එක දෙනවා." යනුවෙන් සුදමා දින දෙකකට පෙර පැවසූ වදන් මා කන්වල දෝන්කාර දෙන්නට වූයේ මා පසෙකින් සිටගෙන සිටින පිස්සු ගැහැණිය දැකීමෙනි.
ශික්. අරූ හිටියනම් මේ ගෑණි මේ පැත්තට එන්නෙ නෑනෙ. මගෙ කරුමෙට අද ඌත් නෑ.
ලෙක්චර් යන්නට පාරට ආ මා හට ලෙක්චර්ස් යන්දෝ නැවත බෝඩිමට යම්දෝ කියා හැගුම් පහල වූයේ පාරෙන් එහා පැත්තේ වෙනදට සිටි ඇන්ටි, පාර පැන මා සිටි බස් හෝල්ට් එකට පැමිණ මා දෙස හැරී බලාසිටින බව මට දැනුනු පසුවය. අනතුරුව මා ඈ දෙස රවා බැලුවෙමි. මා හා සිනහවුන ඈ තවත් ළගට පැමිණියේ මාහට කර කියාගැනීමට දෙයක් නැතිකරමිනි. දැන් නම් මට එකක් හොදටම ශුවර්ම ශුවර්ය. මේ ගෑණි මොළේ අමාරුවක් තියෙන පිස්සු ගෑණියෙක් යන්න මට සහසුදක් සේ පැහැදිලිය. පාර දිගේ අනිත් බස් හෝල්ට් එකට ඇවිද යන්නටද විටෙක මට සිතක් පහල වූවත් එය මාගේ නම්බුවට බරපතල ප්‍රශ්‍නයක් වූ බැවින් මා හට යන්නට හිත් නොවීය. පිස්සු ගෑණියෙක්ට බයේ මම බස් හෝල්ට් එකෙන් ගියා කියලා අපේ එකෙක් හරි දැනගත්තනම් මට කලිසම නැතිව ආයිත් කැම්පස් එකේ ඉන්න වෙන්නෙ. කාඩ් කුඩු.
මගෙ කරුමෙට වෙලාව යන්නෙත් නෑ. තාමත් විනාඩි 2යි ගිහින් තියෙන්නෙ. මගුලෙ බස් එකත් නෑ. රෙද්ද.
අනතුරුව සිදුවූ සියල්ලටම ගතවූයේ විනාඩියකටත් අඩු කාලයකි. නමුත් ඒ විනාඩිය තුල වෙන්නට තිබූ සියල්ල සිදුවුනි.
"මගෙ පුතේ...." කියමින් එකවරම පිස්සු ගෑණි මා දෙසට කඩා පැන්නේය. අතදිග්කර මාගේ මුහුණ පුරා අත ගෙනියන්නට වූයේ මා හට කරකියාගත දෙයක් නැතිකරමිනි. මෙය මා කිසිවිටකත් නොසිතූ දෙයකි. මා ඇයව තල්ලු කලෙමි.
"මගෙ ලොකු පුතේ....මගෙ රත්තරන් පුතේ.... උඹ කොහෙද ගියෙ මගෙ දෙයියො" කියමින් ඈ නැවතත් මා වැළදගත්තේය. එවර මා ඇයව තදින් තල්ලු කල අතර බස් හෝල්ට් එකේ තිබූ යකඩ කණුවක ඈ විසිවී වැදුනි. එනමුත් ඈ නැවතුනේ නැත. "මගෙ ලොකු පුතේ ඇයි මාව තල්ලු කරන්නෙ මගෙ පුතේ" කියමින් ඈ නැවතත් මා වෙත එන්නට විය.
ජීවිතේ අසරණකමේ උපරිමයට ගොස් සිටි මා සිටි තැනම ගල් වී කෑ ගසන්නට වූ අතර මා කටින් පිටවූයේ කුමක්දැයි මා හට මතක නැත.
"අම්මේ" කියමින් පාරෙ එහා පැත්තේ සිට කෙල්ලෙක් දුව ආවේ ළගම තිබූ නිවසිනි. තවත් විනාඩියක් පමණ ගතවන විට එතන පස් දෙනෙකුට ආසන්න පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් සියල්ල පිස්සු ගෑණි වටා රොක්වී ඈ සනසමින් සිටියේ මා හට බෝඩිම අතෑරීම තරම් ලැජ්ජාවක් ඇතිකරමිනි. කෑ ගැහුවෙ ඇයි දෙයියනේ. යාලුවො එකෙක් හරි මේක දැනගත්තොත් මට එල්ලෙන්න වෙන්නෙ යනුවෙන් මා සිත මටම දොස් පවරන්නට විය.
"අම්මෙ, සිරියා නැන්දත් එක්ක ගෙදරට යන්නකො. මම එන්නම් තව ටිකකින්" කියූ පිස්සු ගෑණිගේ දුව ඈව නිවසට පිටත් කලේ මා හට දෝස් මුරයක් තබන අරමුණින් බව මා අනුමාන කර අවසන්ය.
"මල්ලි, ඔයාගෙ නම මොකක්ද?"
"මම මනෝජ් අක්කෙ."
"සමාවෙන්න මල්ලි අපේ අම්මා මෙහෙම හැසිරුන එකට. ඒකට මමයි වගකියන්න ඕනෙ."
"හරි අක්කෙ ඒකට කමක් නෑ."
"මල්ලි ඔයා හිතනවා ඇති අපේ අම්මට පිස්සු කියලා. අපේ අම්මට පිස්සු නෑ මල්ලි. ඔයා පිස්සු ගෑණියෙක් කියලා කෑ ගැහුවට මේ ඉන්න හැමෝම දන්නවා අපේ අම්මා ගැන."
"හරි අක්කෙ. ඒත් එයා අද මගේ ඇගට කඩන් පැන්නා. ඒක හරි කියලද කියන්නෙ? එතකොට ඔයාලා හරිද? අහක හිටිය මමයි වැරදි?"
"අම්මා හරි කියලා මට දැන් තේරෙනවා මල්ලි. ඔයා එයා වගේමයි. එයා වගේම මුරණ්ඩුයි.එයත් ඔයා වගේම නාහෙට අහන්නෙ නෑ. හැබැයි පොඩි දේටත් අම්මේ කියාගෙන එන්නෙ.
මල්ලි......
ඔයා මගේ නැතිවුන ලොකු අයියා වගේ. එයා වගේමයි මූණ. රැවුල. කතා කරද්දියි තේරුනේ එයා වගේම කේන්තිකාරයෙක් කියලා. ඔයාගෙ ඔය කොණ්ඩෙ නැත්නම් මේ ඉන්නෙ මගේ අයියා කියලා මාත් පිළිගන්නවා.
මගේ අයියා 2007දි නැති උනා. එයා නාවික හමුදාවෙ වැඩ කලේ. එයාගිය බෝට්ටුවට කොටි ගහලා පුපුරෝලා තිබ්බා. ඒත් එයාගෙ බොඩි එක හම්බවුනේ නෑ. අම්මා අදටත් හිතන් ඉන්නෙ එයා ජීවත් වෙනවා කියලා. අම්මා මට දවස් තුන හතරකට කලින් කිවුවා ලොකු පුතා ගමට ඇවිත් කියලා. බෝඩිමක නැවතිලා ඉන්නෙ කියලා කිවුවා. මම අම්මට බැණ්නා. සමාවෙන්න මල්ලි. මගේ අම්මා අතින් වැරැද්දක් උනානම් මම දහස් වාරයක් සමාව ඉල්ලනවා.
එයා හැමදාම බලාගෙන ඉන්නෙ එයාගෙ ලොකු පුතා ගෙදර එයි කියලා.
හැමදාම උදේ හාවා පහන තියලා බුදුන්ගෙන් ඉල්ලනවා මට ඇහෙනවා ලොකු පුතාව ආරක්ෂාකරලා ගෙදර එවන්න කියලා.
අදටත් ගෙදරට ලියුමක් එද්දි හිතන්නෙ අයියා කොහෙ හරි ඉදන් එවයි කියලා. අවුරුදු ගානක් ලියුම්කාරයා එනකම් බලන් හිටියා.
අවුරුදු ගානක් නාවික හමුදාවෙ ඔෆිස්වලට බඩගෑවා. හැමතැනකදිම කිවුවෙ මට පුතාගෙ පෙන්ෂන් එක එපා මගේ පුතා ජීවත්වෙනවා කියලා.
සාත්තර අහන්න නොගිය තැනක් නෑ.
හැමදාම කන්න කලින් සත්තුන්ට කෑමවේලෙන් පන්ගුවක් දෙනවා පුතාව පරිස්සමෙන් ගෙදර එවන්න කියලා.
හැම පෝයටම සිල් ගන්නවා. අවුරුද්දකට පාරක් අපි අයියා වෙනුවෙන් දානයක් දෙනවා. ඒත් අම්මා හැමදාම හාමුදුරුවන්ට කියනවා "මගේ පුතා මලේ නෑ අපෙ හාමුදුරුවනේ" කියලා.
ඒකට කියන්නෙ පිස්සු කියලද මල්ලි" යන වදන් මා සවනේ වැටෙනා විට මා නෙතින් නික්මුනු කදුලක් පොළොව සිපගෙන අවසන්ය.
මේ තවත් එක් කතාවක් නෙමේ. ලංකාවෙ අපි අතරෙම ජීවත් වෙන ගොඩක් අයගෙ ඇත්ත ජීවිත කතාවක්. එබිකම් කරලා බලන්න. මේ වගේ කතා සියගාණක් ඔයාගෙ ගමෙනුත් අහන්න පුලුවන්.
මනෝජ් ගුණවර්ධන.
29-13-2017