මට සමාවෙන්න චතුරංග.
මට සමාවෙන්න, මට සමාව දෙන්න.
මම ඔයාට එහෙම කරන්න හිතුවේ නෑ,කියමින් මා ඉකිබිදින්නට විය.
මට මගේ හිත වාවගන්න බැරිය.මා තවත් ඉකිබිදිමින් හඩන්නට පටන් ගතිමි.
පුතේ, පුතේ. නැගිටින්න.නැගිටින්න................ ඇයි මොකද නරක හීනයක්වත් දැක්කද?
අම්මාගේ කටහඩින් මම අවදි විය.
නමුත් මා තවමත් ඉකිබිදියි.මගේ දෑසින් කදුළු රූටා වැටෙයි.නමුත් දැන් මට මා දැක ඇත්තේ හීනයක් බව තේරුම් ගන්නට හැකි විය.නැවතත් මම ඒ බියකරු සිහිනය නිසා අවදිවී ඇත.වසර ගණනාවක් තිස්සේ වරින්වර මාගේ නින්ද අහිමිකළ, වසර ගණනාවක් මාගේ හිතේ සැනසීම නැති කල ඒ දෙය,නැවතත් මා හඩවා ඇත.
ටිකෙන් ටික මා සිහිඑළභා ගතිමි.මගේ හිස අතගාමින් ඇදේ අයිනෙන් වාඩිවී අම්මා මා දෙස නෙතු නොසෙලා බලාසිටී.එය දුටු මාගේ ඉකිය නැවතිනි.මා පත්ව ඇති තත්ත්වය අනුව යුතු හොදම තීරණය මා ක්ෂණිකව ගන්නා ලදී.එකවරම මගේ නිදමත දැඩි වී අනිත් පසට හැරී කොට්ටය බදාගෙන දෑස වසා ගතිමි.
පුතේ,පුතේ යනුවෙන් අම්මා මා අමතන්නට විය.නමුත් මා දැන් සිටින්නේ තද නින්දේය.මා නිදි නැතිමුත් තද නින්දේ සිටින බව ඇගවිය.නැතහොත් උදැසන මාහට යොමුවන දහසක් ප්‍රශ්නවලට උත්තර ලබාදීමට සිදුවේ.ටික වෙලාවකින් අම්මා නැගිට යන හඩ මට ඇසුනි.පසුව කාමරයේ ලයිට්එක නිමන හඩද, දොර වැසෙන හඩද ඇසුනි.තවත් තත්පර කිහිපයක් නොසෙල්වී සිටි මා අදුරේම අතපත ගාමින් දුරකථනය සොයා ගතිමි.වෙලාව උදැසන 5.22යි.
දුටුවා වූ සිහිනය ගැන මා සිතන්නට විය.එය සිහිනයක් නොවේ. එය සැබවින්ම සිදු වූ දෙයකි.වසර නමයක් තිස්සේ මා හිතින් විදවනු ලබන මා අතින් සිදුවූ වරදකි.
එකල මට වයස අවුරුදු 14කි.ඒ සිංහල අලුත් අවුරුදු කාලයයි.එකල සෑම දවසකම අපි සිටින්නේ පිට්ටනියේය.එසේත් නොමැතිනම් රබර් වත්තේය.දවල් කාලයේ රබර් වත්තේ හෙවන ඇති බැවින් අපි එහි එකතු වී ජිල් බෝල ගසයි.එසේත් නොමැතිනම් ක්‍රිකට් ගසයි.එදා මම උදැසනින්ම රබර් වත්ත වෙත ගියේ හිතේ වෙනත් අදහසක්ද හංගගෙනය.මා යන විට දුටුවේ චතුරංග ඔට්ටුපාල ගලවමින් බෝලයක් හදමින් සිටින ආකාරයයි.ඔහු දුටු මගේ මුවේ සිනහවක් ඇදුනේ කරන්නට යන කුප්ප වැඩය සිහිවීමෙනි.මම සෙමින් සෙමින් ගොදුරක් සොයා යන පුසෙකු මෙන් ඔහු සිටිනා දෙසට ඇදුනි. චතුගේ සම්පුර්ණ අවධානය ඔට්ටුපාල බෝලය හැදීම කෙරේ තිබු බැවින් ඔහු මා දුටුවේ නැත.චතු ගසක් අසල සිටගෙන ඒ ගසෙන් ඔට්ටුපාල ගලවමින් සිටියි.මම ඔහුට පසුපසින් ඇති ගසට මුවා විය.
සෙමින් මා සාක්කුවට අත දමා අවශ්‍ය දෑ එළියට ගතිමි.ඒ බට්ටෙකි.එනම් තුම්මුලස් රතිඤ්ඤා කරලකි.අනිත් සාක්කුවට ඇත දමා ගිනිපෙට්ටිය ගතිමි.පහත්වී බට්ටාව බිමින් තබා ගිනිපෙට්ටියෙන් ගිනිකුරක් ගෙන දල්වීමි. හුළං පාරට ගිනිකුර නිමී ගියේය.මම තවත් පත්වී ගිනිපෙට්ටිය මාගේ ඇගටත් ගසටත් මුවාවෙන ලෙස තබාගෙන ගිනිකුර දල්විමි.එවර එය දැල්විණි.මම ගිනිපෙට්ටිය බිමින් තබා බට්ටා අතටගෙන පත්තුකර චතු සිටි දෙසට විසික් කලෙමි.
සියල්ල ක්ෂණිකව සිදුවිය.බට්ටා මහ හඩක් නගමින් පුපුරා ගියේය.එම සද්දයට බියවී චතු කෑගසමින් ඉදිරියට පැන්නේය.එවිට ඔහු ගසේ හැපී බිම ඇදවැටුණි.මා ඔහු අසලට යන විට ඔහු දෑස පියාගෙන බිම වැතිර සිටියේය.මම ඔහුගේ හිසයටින් අතදමා ඔහුව වාඩිකිරිමට තැත් කලෙමි.එවිට මාගේ අත උණුසුම් වූ රුධිරයෙන් තෙත්විය.
මා දුවන්නට විය.ම හදවත වේගයෙන් ගැහෙන්නට විය.විනාඩි දෙකක් ගතවෙද්දී මා නිවසේ මාගේ ඇද මත සිටියේය.පොත් මේසයෙන් පොතක් ගත් මා ඒ දෙස නෙත් යොමා සිටින්නට විය.මා හදවත වේගයෙන් ගැහෙයි. චතු මළාද? මොකද උනේ? මාව පොලිසියෙන් අල්ලන් යයිද?, යනාදී දහසක් ප්‍රශ්න වලින් මා තෙරපෙන්නට විය. එදා ලොව දීර්ඝතම දවසයි. ටික වේලාවකින් අම්මා කාමරයට එබුණි. "ආ පාඩම් කරනවද, තෝ හෙල්ලියන්කෝ බලන්න අද ඔතනින්.කඩනවා හතර හන්දි.අන්න චතු රබර්වත්ත මැද සිහිනැතිව වැටිලලු.කොච්චර එපා කිවුවත් අහන්නේ නෑ රිංගනවා කනතු රබර්වතුගානේ.තෝත් බැහැපන්කෝ අද එලියට." යනුවෙන් අම්මාගේ ගෝරනාඩුව ඇසුනි.
කෙමෙන් කෙමෙන් පසුදින උදාවිය.උදෑසනින්ම දිනේෂ් පැමිණ ඇති බව අම්මා මට කීවේය.
මම ගැහෙන හදින් යුතුව එළියට ආවෙමි.
මනා, චතුවා ඊයෙ රබර් වත්ත මැද වැටිලා.කවුරුහරි උගේ ඇගට රතිඤ්ඤා දාලා.ඌ බය උන පාර සිහිනැතිව වැටිලා.එවෙලේ උගේ ඔලුව හරි වැදිලා.දැන් ඉස්පිරිතාලේ.ඌට දැන් සිහිය ඇවිත්.ඔලුව පැලිලා මැහුම් තුනක් දලාලු.මම අම්මා එක්ක අද දවල්ට යනවා ඌව බලන්න.එනවද යන්න, යනුවෙන් එක දිගට දිනේෂ් කියාගෙන කියාගෙන යයි.මට බෑ බන් මට සනීප නෑ යනුවෙන් පවසා මම නැවතත් කාමරයට වැදුණි.
දින තුනකට පසු චතු ගෙදර රැගෙන එන ලදී.ඔහුගේ හිසේ තුවාල කෙමෙන් සුව විය.නමුත් බයික් එකක හෝන් එකක්,අත්පුඩියක් පවා ඇසූ පමණින් ඔහු බිය වේ.කාලයක් යන තෙක් ඔහු එසේ බියෙන් කල් ගෙවීය.කාලයක් යන තෙක් ඔහු අපේ සෙට් එකේ අයියලාගේ බයිට් එකක් විය.ඔන්න රතිඤ්ඤා, යනුවෙන් පවසමින් චතුව බය කිරීම ඔවුන්ගේ විනෝදාංශයක් විය. මේ සෑම දෙයකටම වරදකරු මමය.අහිංසකයෙක් මම නිසා වසර දෙකක් තුනක් හිතෙන් දුක් වින්දා කියන හැගීම මගේ හිත ගැබුරින් තැන්පත්ව ඇත.කිසිදාක මගේ හෘද සාක්කිය මට සමාවක් නොදෙනු ඇත.
මනෝජ් ගුණවර්ධන.
04-02-2014